Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th December 2017 18:23:12 Hours

‘පාබල මේලා’ අවසන් දිනයේදී රණවිරු පවුල් වෙනුවෙන් තවදුරටත් සුභසාධන කටයුතු

වාර්ෂිකව පවත්වනු ලබන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ‘පාබල මේලා - 2017’ ප්‍රදර්ශණය සහ සැණකෙලිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් හික්කඩුව මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වූ අතර, එහි අවසන් දින වූ ඉරිදා (24), යුද්ධ හමුදා වැන්දඹු හා ආබාධිත රණවිරුවන්ගේ පවුල් වල සාමාජිකයින් සහ දැනට හමුදා සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් දිරි ගැන්වීමේ අරමුණින් රුපියල් මිලියනකට ආසන්න වටිනාකමින් යුත් දිරි ගැන්වීමේ ත්‍යාග පිරිනමන ලදි.

යුද්ධ හමුදා පිරික්සුම් පහන් සංදර්ශණය, තූර්යය වාදක හා සරඹ සංදර්ශණය, කමාන්ඩෝ රෙජිමේන්තුව වෙතින් ඉදිරිපත් කරන ලද සුනඛ සංදර්ශණය, ‘සීදුව සකුරා’ (23) සහ ‘සනිධප’ (24) සංගීත කණ්ඩායම් සහභාගීත්වයෙන් පැවැත්වූ සංගීත සංදර්ශණ ද ප්‍රදර්ශණය සහ සැණකෙලිය දෙදින රාත්‍රිය පුරා වර්ණවත් කරන ලදි.

සැණකෙලියේ අවසන් දින ප්‍රධාන අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා (SLLI) රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහභාගි වූ අතර, එතුමන් විසින් ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි රණවිරුවන්ගේ පවුල් සහ සිවිල් සේවකයින් වෙත එහිදී මුදල් ත්‍යාග ද පිරිනමන ලදි.

ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් ඔවුන්ගේ ශ්‍රම දායකත්වයෙන් සහ රුපියල් 160,000/= මුදලක් වැයකරමින් හික්කඩුව - බද්දේගම බස් මාර්ගයේ නව බස් නැවතුම් පොලක් ද ඉදිකර ඇති අතර ඒ සඳහා බිම් කොටස ලබාදීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ඉඩම් අයිතිකරුගේ නිවස ද ශ්‍රී ලංකා පාබල හමුදා භට පිරිස් විසින් අළුත්වැඩියා කර දීමට ද කටයුතු කර තිබේ. තවද, තැලසීමියා රෝගයෙන් පීඩා විඳින හමුදා සාමාජිකයෙකුගේ දරුවන් දෙදෙනෙකු වෙත වෛද්‍ය පහසුකම් ලබාගැනීම සඳහා මූල්‍යාධාරයක් ද අවසන් දින උත්සවයේදී පිරිනමන ලදි.

ශ්‍රී ලංකා පාබල හමුදාවෙහි ආරාධනයෙන් හික්කඩුවට පැමිණි කඹුරුපිටිය ‘අභිමංසල - 2’ හි නේවාසික රණක්ෂිතයට පත් යුද්ධ හමුදා රණවිරුවන්ට ද ප්‍රදර්ශණය සහ සැණකෙලිය නරඹා සතුටුවීමට ශ්‍රී ලංකා පාබල හමුදා නිළධාරින් සහ භට පිරිස් විසින් ඉඩ ප්‍රස්ථා සලසා තිබුණි.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් නිළ වශයෙන් මෙම උත්සවයේ ආරම්භය සෙනසුරාදා (23) දින සනිටුහන් කරන ලද අතර, යුද්ධ හමුදා පිරික්සුම් පහන් සංදර්ශණය, තූර්යය වාදක හා සරඹ සංදර්ශණය හා සුනඛ සංදර්ශණය තරුණ ළමුන්ගේ මහත් ආකර්ෂණයට ලක්වූ උත්සව අවස්ථාවන් විය.

Best Sneakers | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp