Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th June 2017 14:09:00 Hours

ජනාධිපතිතුමා විසින් යුද්ධ හමුදාධිපතිතුමා ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කෙරේ

සන්නද්ධ හමුදාවන්හි සේනාධිනායක වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 ජූනි මස 27 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ලුතිනන් ජෙනරාල් ඒ ඩබ්ලිව් ජේ සී ද සිල්වා ආර්ඩබ්ලිව්පී විඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ජෙනරාල් තනතුරට උසස් කර ඇති අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්කර ඇත.

ඔහු 2015 පෙබරවාරි මස 22 වන දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 21 වන යුද්ධ හමුදාධිපති ලෙස කටයුතු කරන ලදි.

1980 පෙබරවාරි මස 6 වන දින යුද්ධ හමුදා සේවයට බැඳි වසර 37 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවයක් ඇති ජෙනරාල් ද සිල්වා 1981 ජූලි 18 වන දින 2 වන ලුතිනන්වරයෙක් ලෙස 1 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්තව රාජකාරි ඇරඹූ අතර, 1985 දී කපිතන් නිලයටත්, 1989 දී මේජර් නිලයටත්, 1994 දී ලුතිනන් කර්නල් නිලයටත්, 1997 දී කර්නල් නිලයටත්, 2003 දී බ්‍රිගේඩියර් නිලයටත්, 2009 නොවැම්බර් මස 30 වන දින මේජර් ජෙනරාල් නිලයටත් උසස්වීම් ලැබ 2015 පෙබරවාරි මස 22 වන දින යුද්ධ හමුදාධිපති ලෙස පත්විමත් සමඟම ලුතිනන් ජෙනරාල් නිලයට උසස් විය.

ජෙනරාල් ද සිල්වා 2013 අගෝස්තු මස 1 වන දින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත්වන අතර, 2014 මැයි මස 16 දින සිට රුසියාවේ නියෝජ්‍ය ශ්‍රී ලංකා තානාපති තනතුරට පත්වීමත් සමඟම විදේශගත විය. මාණ්ඩලික සහ ප්‍රධාන උපදේශක තනතුරු රැසක් හොබවා ඇති ජෙනරාල් ද සිල්වා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ජා බලසේනාවේ සේනාවිධායක තනතුර ද හොබවන ලදි. එමෙන්ම කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති, නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති සහ කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසෙහි ආඥාපති ධූරය ද හොබවා ඇති මෙතුමා ඉංජිනේරු බලසේනාධිපති, 512 සහ 562 වන පාබල බලසේනාවන්හි බලසේනාධිපති වශයෙන් ද කටයුතු කර ඇත.

මීට අමතරව, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම්, අධ්‍යක්ෂ ක්‍රියාන්විත, අතිරේක යුද සේවා ලේකම්, අධ්‍යක්ෂ සැලසුම්, පිරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් (පාලන) මෙන්ම මාණ්ඩලික නිලධාරී තනතුරු ගණනාවක් ද හොබවා ඇත.

එමෙන්ම, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක, ප්‍රධාන උපදේශක සහ උපදේශක නියාමන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, එම තනතුරු ත්‍රිත්වයම දැරූ පළමු නිලධාරියා ද එතුමා වේ. තවද, දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ප්‍රධාන උපදේශක වශයෙන් ද, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු පාසලේ සේනාවිධායක වශයෙන් ද කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කීර්තිමත් නිලධාරියෙකු වන ජෙනරාල් ද සිල්වා 6 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක වශයෙන් ද කටයුතු කර ඇත.

ජෙනරාල් ද සිල්වා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මව්බිම මුදවාගැනීමේ මානුෂීය මෙහෙයුමේ දී කරනු ලැබූ සේවය වෙනුවෙන් රණ වික්‍රම පදක්කම (ආර්ඩබ්ලිව්පී), උත්තම සේවා පදක්කමෙන් (යූඑස්පී) සහ විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කමෙන් ද (වීඑස්වී) පිදුම් ලබා ඇත.

දේශීය සහ විදේශීය පාඨමාලාවන් රැසකට සහභාගී වී ඇති ජෙනරාල් ද සිල්වා ඔහුගේ පළමු විදේශීය පාඨමාලාව ලෙස පකිස්ථානයේ රිසාල්පූර් ඉංජිනේරු හමුදා විද්‍යාලයේ තරුණ නිලධාරී පාඨමාලාවට සහභාගි වී ඇත. එක්සත් රාජධානියේ යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සහ චීනයේ නැංජින් උසස් අණ විද්‍යාලයේ උපාධිදාරියෙකු වන ජෙනරාල් ද සිල්වා ඉන්දුනීසියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය හා සමාන ජාතික රිසිලියන්ස් ආයතනයේ ආරක්ෂක අධ්‍යනය පිළිබඳව පශ්චාත් උපාධිධාරියෙකු ද වේ.

ඊට අමතරව, ජෙනරාල් ද සිල්වා ඉන්දියාවේ මොව් සංග්‍රාමික විද්‍යාලයේ උසස් අණ පාඨමාලාවට ද, ඉන්දියාවේ පූනෙයි ඉංජිනේරු හමුදා විද්‍යාලයේ බෝම්බ නිෂ්ක්‍රීය පාඨමාලාවට ද, ඉන්දියාවේ පූනෙයි ඉංජිනේරු නිලධාරීන් සඳහා වූ සංග්‍රාමික ඉංජිනේරු උපදේශක පාඨමාලාව ද, ඉන්දියාවේ පූනෙයි ඉංජිනේරු නිලධාරී බිම් කැනීම් භූමි නඩත්තු සහ ඉදිකිරීම් පාඨමාලාව ද, පකිස්ථානයේ රිසල්පූර් ඉංජිනේරු හමුදා විද්‍යාලයේ ඉංජිනේරු කණ්ඩායම් භාර නිලධාරී පාඨමාලාව ද, ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායිහි ආසියා පැසිෆික් ආරක්ෂක අධ්‍යන මධ්‍යස්ථානයේ උසස් විධායක ආරක්ෂක සහයෝගීතා පාඨමාලාව ද හදාරා ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකු වන ජෙනරාල් ද සිල්වා යුද්ධ හමුදාව තුල ‘ක්‍රිෂාන්ත’ නමින් ප්‍රසිද්ධ වන අතර, නයනා මහත්මිය සමඟ විවාහ වී නිවුන් පුතුන් දෙදෙනෙකුගේ දයාබර පියාණන් ද වේ.

Sports brands | Women's Nike Superrep