Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th April 2024 20:15:26 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, 23 පාබල සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ධූරයේ පසුගිය දා රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සි 2024 අප්‍රේල් මස 27 දින 23 පාබල සේනාංක මූලස්ථානය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදුකරන ලදී.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.වී.එන්.පී. ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන් හඳුන්වාදීමෙන් අනතුරුව එම සේනාංක මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සි කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් 23 පාබල සේනාංකයේ සියලු නිලයන් ආමන්ත්‍රණය කරමින් ‘කණ්ඩායමක්’ ලෙස කටයුතු කර අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා විනය, කාර්යක්‍ෂමතාව සහ කැපවීම පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. පසුව, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් එම සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන් සහ ඒකකයන්හී කාර්යභාරය සහ ක්‍රියාන්විතයන් සඳහා ඇති පෙර සූදානම පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළේය. අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් එම සේනාංකයට අදාළ ආරක්‍ෂක සහ පරිපාලනමය කරුණු පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.