Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd April 2024 18:09:52 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 143 වන සංවත්සර දිනය අභිමානවත් අයුරින් සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත එම බලසේනාවේ අභිමානවත් 143 වන සංවත්සර දිනය වෙනුවෙන් ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූල සැමරුම් උත්සවයක් 2024 අප්‍රේල් මස 01 දින පැවැත්විණි.

සංවත්සර දිනයේදී, මූලස්ථාන පරිශ්‍රය වෙත සැපැමිණි සේනාවිධායකතුමන් එම බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බලකායේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් සහ නියෝජ්‍ය සේනාවිධායක විසින් මව්බිම වෙනුවෙන් දිවිපිදූ කපිතන් එස්.ඩබ්ලිව්.එම්.එස්.යූ අලදෙණිය පීඩබ්ලිව්වී ගේ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, එම බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ගේ සහභාගීත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.

සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව ‘සඳ සෙවණ’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා 2024 මාර්තු මස 28 දින දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, එහිදී සෙත්පිරිත් සජ්ඣායනාවක් ද සිදුකෙරිණි.

සංවත්සර සැමරුම් උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.