Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2024 22:44:50 Hours

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමන් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී පසුගිය අඟහරුවාදා (මාර්තු මස 26) දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර ඒකකයේ, බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ ඒකකයේ සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ භටපිරිස්හි හැකියාවන් පරීක්‍ෂා කිරීමේ අරමුණින් යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ නිල සංචාරයක නිරත වූහ.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් වෙත එහිදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ගමන්මඟ සහ වර්ථමාන තත්ත්වය දැක්වෙන කෙටි වීඩීයෝ පටයක් ප්‍රදර්ශනය කල අතර අනතුරුව, එතුමන් භටපිරිස් අමතමින්, ජාතික ආරක්‍ෂාව සඳහා ඔවුන්ගේ නිර්භීතභාවය සහ කැපවීම අගය කළේය.

මෙම සංචාරයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සතු හදිසි තත්ත්වයකට මුහුණ දීමේ සූදානම සහ උපාය මාර්ගයන් පිළිබඳවත් සවිස්තරාත්මක දැනුවත් වෙමින්, රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර ඒකකයේ කටයුතු, බෝම්බ නිශ්ක්‍රිය කිරීම් සහ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීම වැනි මෙහෙයුම් වලදී භාවිතා කරන ලද උසස් තාක්ෂණික මෙවලම් සහ ශිල්පීය ක්‍රම පිළිබඳව වූ සජීවී නිදර්ශනයන් කිහිපයක් ද දැක බලා ගත්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් එහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ මෙම සංචාරය සංකේතවත් කරමින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම සංචාරය සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්ව සිටියහ.