Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2024 15:02:05 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ එතුමන්ගේ භාර්යාව පසුගිය අඟහරුවාදා (මාර්තු මස 26) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් සිදුකළ අනුපමේය සේවය සහ මානූෂීය මෙහෙයුම් කාලවකවානුව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා ලබාදුන් දායකත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළහ.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය රාජකාරී කාලසීමාව තුළදී ලබාදුන් මඟපෙන්වීම වෙනුවෙන් සහ මෙම අවස්ථාවට ආරාධනා කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ භාර්යාව සමඟ සුහද පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව අභියෝගාත්මක භූමිකාවන්හි නිරතව සිටින කාලසීමාවේ එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය.

මෙම සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ගේ සුරතින් මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත සමරු තිළිණයක් සහ භාර්යාව වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජනවාරි මස 20 දින යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ ඉන්දියානු යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් පාඨමාලා අංක - 31 යටතේ කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව අවසන් කර 1990 ඔක්තෝබර් මස 05 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කීර්තිමත් පාබල හමුදා රෙජිමේන්තුවක් වන ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කෙරිණි. ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2021 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන්, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ බලකාධිපති යන ධූරයන් හෙබවීය. එතුමන්ගේ සේවා කාලය තුළ 6 ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩ භාර නිලධාරී, යුද්ධ හමුදා පුහුණු පාසලේ නිලධාරි අණදෙන, 6 ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් පුහුණු අංශයේ නිලධාරි උපදේශක, 16 ගජබා රෙජිමේන්තුවේ නිලධාරී අණදෙන, 3 ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන (පාලන), යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරල් ශාඛාවේ මාණ්ඩලික නිලධාරි 2, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 2 (ක්‍රියා/පුහුණු) සහ විධායක අධිකාරී, 3 සහ 16 ගජබා රෙජිමේන්තුවල කාර්යයේ නියුතු අණදෙන නිලධාරී, 3 සහ 23 ගජබා රෙජිමේන්තුවල අණදෙන නිලධාරි, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී, 2013 - CHOGM සමුළුව සඳහා වූ කාර්ය සාධක බලකා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි, ආරක්‍ෂක සේනා මූලස්ථානය (දකුණ), ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) සහ 24 පාබල සේනාංකයේ කර්නල් (ප්‍රධාන මාණ්ඩලික නිලධාරී), 533 පාබල බලසේනාවේ සහ 643 පාබල බලසේනාවේ බලසේනාධිපති, ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේනාවිධායක සහ 52 පාබල සේනාංකයේ සහ 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

සටන් බිමේ දැක්වූ නිර්භීතකම වෙනුවෙන් එතුමන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. එතුමන්ගේ හමුදා දිවිය තුළදී කණ්ඩභාර නිලධාරී උපක්‍රමික පාඨමාලාව, බලඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය සහ මානව හිමිකම් පුහුණු පාඨමාලාව, තරුණ නිලධාරීන්ගේ පාබල පාඨමාලාව - පාකිස්තානය, මධ්‍ය වෘත්තීය පාඨමාලාව - පාකිස්තානය, පාබල හමුදා කපිතාන්වරුන්ගේ වෘත්තීය පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව - ඉන්දියාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ඉන්දියාවේ දේවි අහිල්‍යා විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ ආරක්‍ෂක කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව, ඇමරිකා එක්සත් ජනපදයේ, ජෝර්ජියාවේ කොලොම්බස් ෆෝට් බෙනින් හි සාම අධ්‍යයන උපායමාර්ගික යුද කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආයතනයේ මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනයේ රාජ්‍ය තාන්ත්‍රික හා ගෝලීය සම්බන්ධතා පිළිබඳ ඩිප්ලෝමාව සහ ඉන්දුනීසියානු ජනරජයේ ජාතික ප්‍රත්‍යස්ථිති ආයතනයේ උපායමාර්ගික සහ ප්‍රත්‍යස්ථිති අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාව වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.