Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2024 14:26:57 Hours

සංචාරයේ නිරත චීන දූත පිරිස ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසලේ සංචාරයක

චීන මහජන සමූහාණ්ඩුවේ ජාත්‍යන්තර හමුදා සහයෝගීතා කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ෂැං බෝකුන් (Major General Zhang Baoqun) ප්‍රමුඛ චීන නියෝජිත පිරිස 2024 මාර්තු මස 08 දින ශ්‍රී ලංකා සංඥා බලකා පුහුණු පාසලේ නිල සංචාරයක නිරතවූහ.

යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී සංචාරයේ නිරත දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව, එම පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක මේජර් එම්.එම්.යූ.අයි.බී. වැවේගෙදර පීඑස්සී පුහුණු පාසල වෙතින් පවත්වනු ලබන පුහුණු ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකරන ලදී. චීන හමුදාව වෙතින් සිදුකරනු ලැබූ පරිත්‍යාගයන් එම පාසලේ ප්‍රගමනය වෙනුවෙන් යොදාගැනීම සබැඳිව සාකච්ඡාවක් ද පැවැත්විණි.

සංචාරයේ නිරත දූත පිරිස රැහැන් සන්නිවේදන සහ ප්‍රකාශ තන්තු තාක්‍ෂණ විද්‍යාගාරය ඇතුළු එම පුහුණු පාසල් පරිශ්‍රයේ පුහුණු ස්ථානයන්හි සංචාරය කළ අතර එහිදී, ශිෂ්‍ය නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් ඒ සබැඳිව ආදර්ශනයන් ද ඉදිරිපත් කළහ. පසුව, ඔවුන් සමූහ ඡායාරූපයට සහභාගී වීමෙන් අනතුරුව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

පුහුණු පාසල් පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් ෂැං බෝකුන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.