Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th March 2024 14:06:21 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සංචාරයක

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ 2024 මාර්තු මස 02 දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම සංචාරය අතරතුරදී, භටපිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් ඉටුකරනු ලබන ප්‍රශංසනීය කාර්යභාරය ඇගයීමට ලක්කළ අතර, දිවංගත සියලුම රණවිරුවන් ද මතකාවර්ජනය කරනු ලැබීය. එමෙන්ම, පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා දක්වන දායකත්වය සහ අනෙකුත් පුහුණුවීම්, සූදු ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වීම, මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතය, රැකියා සුරක්‍ෂිතභාවය සහ යුද්ධ හමුදාව හරහා ලැබෙන සුබසාධන පහසුකම් වැනි කරුණු පිළිබඳව ද එහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

එමෙන්ම, මෙම අවස්ථාව උදාකරදීම වෙනුවෙන් එතුමන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ වෙත සිය ස්තූතිය ද පුදකළේය.

දේශනය සමාප්තියේ, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය. පසුව, කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් සමඟ සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. එම කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට පෙර එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - වන්නි, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.