Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

‘පළමු පෙළ මේජර් ක්‍රිකට් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලිය - 2022’ තරඟාවලියේ අනුශූරතාවය යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ‘පළමු පෙළ මේජර් ක්‍රිකට් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලිය - 2022’ තරඟාවලියේ අවසන් මහා තරඟයට සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම එම තරඟාවලියේ අනුශූරතාවය දිනාගැනීමට සමත් වූහ.

මෙම තරඟාවලිය ‘ඒ’ සහ ‘බී’ වශයෙන් දීප ව්‍යාප්ත කාණ්ඩ දෙකක් යටතේ පසුගිය අඟහරුවාදා (2) දින පැවති අතර, යුද්ධ හමුදා ක්‍රීඩකයින් ‘බී’ කාණ්ඩය යටතේ තරඟ වැදිණි.

තරඟාවලියේ අවසන් මහා තරඟය SCC ක්‍රීඩා පිටියේදී පැවැති අතර, එහිදී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම ‘Tamil Union CC’ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පන්දු වාර 49 පන්දු 5 කදී ලකුණු 198 ක් රැස්කළහ. ඉන් අනතුරුව, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ‘Tamil Union CC’ කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පන්දු වාර 37 කදී ලකුණු 153 ක ඉලක්කයක් හඹාගිය අතර, ඔවුන් පන්දුවාර 31 කදී කඩුලු 3 ක් පමණක් දැවී තරඟාවලියේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූහ.

අවසන් මහා තරඟයේදී යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අනුශූරතාවය හිමිකරගැනීමට සමත් වූ අතර එහිදී, යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟවැදුනු බළලත් නිලධාරී II අසේල ගුණරත්න ලකුණු 59 ක් සහ සාමාන්‍ය සෙබළ මහේෂ් කුමාර ලකුණු 57 බැගින් රැස්කළහ.

මෙම තරඟාවලිය පුරාවටම විශිෂ්ඨ දස්කම් දැක්වූ ලාන්ස් කෝප්‍රල් එදිරිසිංහ අර්ධ ශතක 5 ක් සමඟින් ලකුණු 483 ක් රැස්කිරීමට සමත් වූ අතර, සාමාන්‍ය සෙබළ මහේෂ් කුමාර අර්ධ ශතක 3 ක් සමඟින් ලකුණු 384 ක් රැස්කරගනු ලැබීය. තරඟාවලිය පුරා විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සාමාන්‍ය සෙබළ එල්. ප්‍රනාන්දු කඩුලු 30 ක් සහ බළලත් නිලධාරී II සීක්කුගේ ප්‍රසන්න කඩුලු 28 ක් දවාගැනීමට සමත් වූහ.

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් අවසන් මහා තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධ හමුදා කණ්ඩායමට අවැසි සහයෝගය ලබාදුන්හ.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් වෙනුවෙන් අවැසි උපදෙස් හා මාර්ගෝපදේශයන් යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ ලේකම් කර්නල් ඩී.පී.එස්.අයි. ඩයස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මේජර් තිසර පෙරේරා විසින් ලබාදුන්හ.