Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2024 13:29:15 Hours

‘Gajaba Supercross Ice Break – 2024’ තරඟාවලිය සාර්ථකව අවසන්

ගජබා රෙජිමේන්තුව විසින් ‘ශ්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමය’ (Sri Lanka Auto sports Drivers Association) සමඟ එ්කාබද්ධව සංවිධානය කරන ලද ‘Gajaba Supercross Ice Break - 2024’ තරඟාවලිය ඉකුත් ඉරිදා (මාර්තු මස 03) දින සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්විණි.

තරඟාවලියේ සමාරම්භක අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.එම්.ඒ.බී විජේකෝන් යූඑස්පී එන්ඩීසී සහ ‘ශ්‍රී ලංකා ඔටෝ ස්පෝර්ට්ස් ධාවකයින්ගේ සංගමයේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් උත්සවයේ කටයුතු ආරම්භ කරමින් රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව ධජ ඔසවා තරඟයේ ආරම්භය සනිටුහන් කරන ලදී. ප්‍රදේශයේ ප්‍රධාන මෝටර් රථ සහ යතුරුපැදි ධාවන තරඟයක් වන මෙම ‘Gajaba Supercross Ice Break – 2024’ තරඟාවලිය මෝටර් රථ ධාවන තරඟ 12 කින් සහ යතුරුපැදි තරඟ 10 කින් සමන්විත විය.

මෙරට මෝටර් රථ ධාවන ක්‍ෂේත්‍රයේ කේන්ද්‍රීය ස්ථානයක් ගන්නා මෙම තරඟාවලිය වෙනුවෙන් මෝටර් රථ ධාවන ක්‍රීඩාලෝලීන් ඉමහත් උනන්දුවක් දක්වති. එමෙන්ම, සුපතල මෝටර් රථ ධාවකයින් සහ යතුරුපැදිකරුවන් 200 කට අධික පිරිසක් මෙම තරඟාවලිය වෙනුවෙන් තරඟ වදිමින් දහස් සංඛ්‍යාත ප්‍රේක්‍ෂකයින් පිරිසක් වෙත තම සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කරනු ලබයි.

‘Gajaba Supercross Ice Break – 2024’ තරඟාවලිය මඟින් ලැබෙන අරමුදල් තුළින් ගජබා රෙජිමේන්තුවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහාත්, එම රෙජිමේන්තුවේ හමුදා සාමාජිකයින්ගේ සහ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සඳහාත් යොදවනු ලබයි.

මෙම තරඟාවලිය සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් අනෙකුත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ‘ශ්‍රී ලංකා ඔටෝස්පෝර්ට් ධාවකයින්ගේ සංගමයේ’ නිලධාරීන් විසින් ජයග්‍රාහකයින් වෙත කුසලාන, පදක්කම් සහ සහතික පත් ප්‍රදානය කරන ලදී.