Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st June 2023 16:42:17 Hours

සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් 483 ක් බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණියගේ සුරතින් ප්‍රතිලාභීන් වෙත වියළි සහ නැවුම් ආහාර සලාක පාර්සල් පරිත්‍යාග කෙරිණි.

මෙම වැඩසටහනේදී, රු.2500/= වටිනාකමකින් යුක්ත සහල්, පරිප්පු, අල, මිරිස් කුඩු, සීනි සහ කිරිපිටි ආදියෙන් සමන්විත වියළි ආහාර සලාක පාර්සල් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිවිල් සේවක මහතුන් 49 දෙනෙකු වෙත බෙදා දෙන ලදී. අනතුරුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය විසින් එම සලාක පාර්සල් ප්‍රතිලාභින් වෙත පරිත්‍යාග කළ අතර මෙලෙස බෙදා දෙන ලද සම්පූර්ණ වියළි සහ නැවුම් ආහාර සලාක පාර්සල් තොගයේ වටිනාකම රුපියල් මිලියන 1.2 ක් විය.

වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, නෙස්ලේ ලංකා පුද්ගලික සමාගම සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් වෙත රුපියල් මිලියන 3.7 ක වටිනාකමකින් යුත් පොල්කිරි පැකට් පරිත්‍යාගක්ද සිදු කෙරිණි. මෙම ව්‍යාපෘතිය අතරතුරදී යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් පිරිසක් වෙත සංකේතාත්මකව එම පොල්කිරි පැකට් පරිත්‍යාග කෙරිණි.

උත්සව අවස්ථාව සඳහා නෙස්ලේ ලංකා පුද්ගලික සමාගමේ නියෝජිතයින්, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම්. අබේසේකර ආර්එස්පී යූඑස්පී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර යූඑස්පී, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.