Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2017 08:57:55 Hours

සෑම ආධුණික සෙබලකුම පැලයක් අතැතිව පුහුණුව නිමාවට සැලසුම්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා කෘෂිකාර්මික සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද්ධ හමුදා ආධුණික පුහුණු පාඨමාලාව නිමාකර විසිර යන සෑම සෙබලකුටම ප්‍රයෝජනවත් පැල බීජ සහ ආර්ථිකවය වශයෙන් වටිනාකමක් ඇති පැල බෙදාදීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් ආරම්භ කර තිබේ.

‘පරිසර නියමු හරිත සෙබල වැඩසටහන’ ‘Eco Pioneer Green Soldier Project’ යන තේමාව යටතේ සැලැසුම් කොට ඇති මෙම නව ව්‍යාපෘතිය මගින් රජයේ ප්‍රතිපත්තියන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ වනගහනය වැඩි දියුණු කිරීමටත් පැල සිටුවීමට යුද්ධ හමුදා සාමාජිකයින් තුල පුරුද්දක් ඇති කොට ඒ හරහා ඔවුන්ගේ ආර්ථීක සමෘද්ධිය ඉහල නැංවීමත් අදහස් කර ඇත. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශුසම්පත් අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් බුවනෙක ගුණරත්න පවසන ආකාරයට පුහුණු පාඨමාලාව නිමවා යුද්ධ හමුදා පුහුණු පාසැලෙන් පිටව යන සෑම ආධුණික සෙබලෙකුටම පරිසරය සුරැකිමේ විශේෂ ප්‍රතිඥාවක් ලබාදිමෙන් පසු වටිනා සහතිකපතක් ද සමගින් ඔවුන්ට මෙම ශාක පැල ලබාදීම සිදු කරනු ලැබේ.

යුද්ධ හමුදා කෘෂිකර්ම සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මේ වනවිටත් හේනානිගල, දියතලාව, දඹුල්ල සහ පන්ගොල්ල යන යුද්ධ හමුදා පුහුණු පාසැල් හරහා යුද්ධ හමුදා ආධුණිකයින් 786 කට වැඩි ප්‍රමාණයකට මෑත කාලයේ දී මෙසේ වටිනා පැල බෙදා දී තිබේ. මීට අමතරව, මහෝගනි, කයා, මී, බුළු, තේක්ක, කොහොඹ, කොස්, දෙල්, කජු, පේර, දෙහි, මුරුංගා, කතුරු මුරුංගා, කෝපි පුවක්, ඩ්‍රැගන්ෆෘට්, කරපිංචා, දිවුල්, බෙලි, පැණිදොඩම්, සුදු හදුන්, අනොදා, කටු අනෝදා, දොඹ, කිතුල්, වෙරළු, ලොවි, ගඩුගුඩා, ජම්බු ආදී වටිනා පැල 37,500 කට වැඩි ප්‍රමාණයක් බෙදාදීමට ද ඉදිරියේ දී කටයුතු සැලසුම් කොට ඇත.

කෘෂිකර්මාන්තය යුද්ධ හමුදාව තුල වඩාත් සංවිධානාත්මකව ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වර්ෂ 2010 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය යටතේ කෘෂිකර්මාන්තය සහ පශු සම්පත් සංවර්ධනය කිරීමේ අංශයක් ස්ථාපනය කරන ලදී. වර්ෂ 2011 නොවැම්බර් මස දී යුද්ධ හමුදා සාමාජිකයින් අතර කෘෂිකර්මාන්තය තවදුරටත් ප්‍රචලික කිරීමේ අරමුණින් කෘෂිකාර්මික සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලයක් ස්ථාපිත කිරීමත් සමඟම කෘෂිකාර්මික කටයුතු සඳහා නව ජවයක් ලැබුණි.

වර්තමානයේ දී, කෘෂිකර්මාන්ත සහ පශු සම්පත් අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ යුද්ධ හමුදා ගොවිපොල 6 ක සහල්, කිරි, බිත්තර, එලවළු සහ පලතුරු වගාවන් සිදු කරමින් පවතී.

latest jordans | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth