Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2023 20:01:25 Hours

සංචාරයේ නිරත පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

සිව්දින සුහද සංචාරයක් සඳහා දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින පාකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි එන්අයි (එම්) එස් බීටී (Admiral Muhammad Amjad Khan Niazi NI (M), S BT) සඳුදා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි පාකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදා මුලස්ථාන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.කේ.ආර් පෙරේරා විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය. එම අවස්ථාවට යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සමගින් පාකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි එන්අයි (එම්) එස් බීටී සහභාගී වූහ.

ඉන් සුළු මොහොතකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් එතුමන් වෙත හදුන්වාදෙනු ලැබීය.

අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ සිදුකළ සංචාරය සිහිවනු වස් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සංචාරයේ නිරත නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි සමඟ සමූහ ඡායාරූපයකට එක්වූහ. ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ මෙරටට පැමිණි පාකිස්ථාන නාවික හමුදාවේ නාවික මාණ්ඩලික ප්‍රධානි සමඟ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ පාකිස්ථාන නාවික හමුදාවේ අවධානයට ලක්විය යුතු ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සුහඳ පිළිසඳරක නිරත විය. එහිදි කලාපයේ සමුද්‍රීය ආරක්‍ෂාව සහ ඊට අදාළ අනෙකුත් කරුණු පිළිබඳව ද අවධානය යොමු විය.

යුද්ධ හමුදාධිපතිතුමාගේ කාර්යාලය වෙත පැමිණි පාකිස්ථාන නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි විසින් සිය සංචාරයට විශේෂත්වයක් එක් කරමින්, යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතේ සටහනක් තැබීය. පසුව අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි එන්අයි (එම්) එස් බීටී සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ද සහභාගී වූහ.

සංචාරයේ නිරත නාවික මාණ්ඩලික ප්‍රධානි එළ‍බෙන අඟහරුවාදා (පෙබරවාරි 28) දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර, ඊට පෙර නැගෙනහිර නාවික විධානය සහ ත්‍රිකුණාමලයේ පිහිටි නාවික හා සමුද්‍ර විද්‍යාපීඨයේ ද සංචාරය කිරීමට නියමිතය.