Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th December 2022 21:49:17 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව නැවත ස්ථාපනය කරයි

මානූෂීය මෙහෙයුමේ අවශ්‍යතාවය මත 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වර්ෂ 2007 පෙබරවාරි මස 04 දින සිට යුද්ධ හමුදාවේ 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව ලෙස ස්ථාපනය කර රාජකාරි කටයුතු සිදුකරනු ලැබූ අතර නැවතත් 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලෙස ස්ථාපනය කරමින් එම ඒකකය වෙත ධජය ලබාදීමේ සම්ප්‍රදායික ධජ ප්‍රදානෝත්සවය පසුගිය සිකුරාදා (02) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේදී පැවැත්විණි. එම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගී විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 ලුතිනන් කර්නල් සංජීව දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වජිර අමරසිරි විසින් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීම සඳහා එතුමන්ව සරඹ භූමිය වෙත කැටුව යන ලදී.

සරඹ භූමියේදී මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් එම ඒකකයේ අණදෙන නිළධාරී මේජර් සම්පත් නල්ලපෙරුම වෙත හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාන්විත අයුරින් 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඒකක ධජය පිරිනැමිණි.

මෙම උත්සව අවස්ථාව සඳහා 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ හිටපු අණදෙන නිලධාරීන්, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගී වූහ.

වර්ෂ 1994 ජනවාරි මස 23 දින පිහිටවනු ලැබූ 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි ක්‍රියාත්මක කරනු ලැබු මානූෂිය මෙහෙයුම්වලදී මාතෘ භූමියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කිරීම සඳහා සිය රාජකාරීන් මනා ලෙස ඉටු කරන ලද ඒකකයකි. මානූෂීය මෙහෙයුමේ අවශ්‍යතාවය මත මෙම බලඇණිය වර්ෂ 2007 පෙබරවාරි මස 04 දින 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව බවට ස්ථාපනය කරන ලද අතර, අනතුරුව විශේෂ යුද්ධ හමුදා නියෝගයක් මගින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කනිෂ්ඨතම බලඇණිය වන 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසුරුවන ලද අතර, එලෙස විසුරුවන ලද එම ඒකකය නැවතත් 10 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ලෙස මෙහිදී ස්ථාපනය කරනු ලැබිණි.