Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th July 2023 20:42:56 Hours

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය වෙතින් නිෂ්පාදනය කරන ලද සන්නද්ධ රථ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පොලිස්පතිතුමා වෙත භාරදෙයි

විදේශ විනිමය විශාල ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මානුෂීය මෙහෙයුමේදී මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන් ද විශාල මෙහෙවරක් සිදුකරමින් ‘නොහැක්කක් නොමැත’ යන්න නැවත වරක් පිළිබිඹු කරමින් මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද සන්නද්ධ රථ 6 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත භාරදෙන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය විසින් සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථ (Armoured Personnel Carriers) දෙකක් සහ පොලිස් පිරිස් විසුරුවා හැරීමේ රථ (Police Crowd Control Vehicles) හතරක් අවම පිරිවැයක් යටතේ නිෂ්පාදනය කරන ලදී. මෙම සන්නද්ධ රථ සඳහා ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 100 ක් වන අතර රුපියල් මිලියන 66 ක පිරිවැයකින් එහි වැඩ කටයුතු අවසන් කිරීමට ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ භටපිරිස් සමත් වූ අතර, ඒ තුළින් රුපියල් මිලියන 34 ක මුදලක් මෙරටට ඉතිරිකර ගැනීමට හැකිවිය. මෙම සන්නද්ධ රථ 06 ප්‍රධානය කිරීමේ උත්සව අවස්ථාව සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ නියෝජ්‍ය පොලිස්පති සහ විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක ඩබ්ලිව්. ජයසුන්දර, වෙත ඉකුත් අඟහරුවාදා (ජූලි මස 25) දින යුද්ධ හමුදා මූලස්ථානය වෙත ආරාධනා කරන ලදී.

එම අවස්ථාවට සහභාගී වූ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සන්නද්ධ රථ 6 පරීක්‍ෂා කළ අතර, එහි නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් විසින් ඔවුන් වෙත පැහැදිලි කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති උත්සවකදී පොලිස්පති සී. ඩී වික්‍රමරත්න වෙත සන්නද්ධ රථයක යතුර සහ වාහන ලොග් පොත්වල අනුරුවක් පිළිගන්වමින් එම සන්නද්ධ රථ සංකේතවත් ලෙස භාරදෙන ලදී.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා පිටත්ව යන විශේෂ කාර්යය බලකායේ සාමාජිකයන්ට අවශ්‍ය එක් සන්නද්ධ රථයක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන් 200 ක් වැය කිරීමට සිදුවන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රුපියල් මිලයන 66 ක් වැය කර මෙම සියලුම රථ නිෂ්පාදනය කිරීම තුළින් මෙරටට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට හැකියාව ලැබිණි.

අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ. ජයසේකර යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ කටුබැද්ද ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළ වෙතින් මෙම සන්නද්ධ රථ නිෂ්පාදනය කරනු ලැබු අතර, එහිදි සන්නද්ධ පිරිස් ප්‍රවාහන රථයක් (Armoured Personnel Carriers) රුපියල් මිලයන 16 කට සහ පොලිස් පිරිස් විසුරුවා හැරීමේ රථයක් (Police Crowd Control Vehicles) රුපියල් මිලියන 8.5 ක මුදලකට නිෂ්පාදනය කිරීමට යුද්ධ හමුදා භටපිරිස් සමත්වූහ.

කුරිරු ත්‍රස්තවාදයට එරෙහි වසර 30 ක් පුරා පැවැති දීර්ඝ යුද්ධයේදී යුද බිමට සොල්දාදුවන් ආරක්ෂිතව රැගෙන යාම සඳහා වර්ෂ 1980 ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් යුනිබෆල් රථය දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රථම වරට වර්ෂ 1984 සන්නද්ධ රථ නිෂ්පාදනය ආරම්භ කරනු ලැබු අතර, එය ක්‍රමානුකූලව වර්ෂ 2008 වනවිට යුනිකෝන් මාර්ක් II සහ යුනිකෝන් මාර්ක් VI ඇතුළු සන්නද්ධ රථ මාදිලි කිහිපයක් යටතේ නිෂ්පාදනය කරන ලදී.

මෙහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න සහ විශේෂ කාර්ය බළකායේ සේනාවිධායක අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්ඩබ්ලිව්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, මේජර් ජෙනරල් සී.ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී පීඑස්සී, අධ්‍යක්‍ෂ ජෙනරාල් අයවැය හා මුදල් පරිපාලන මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ආර්එස්පී යූඑස්පී, උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.