Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2022 22:17:12 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 15 වන රෙජිමේන්තු අධිපති ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය සෙනසුරාදා (03) දින පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්න වීරසූරිය වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සුජිත් කුලසේකර සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් රුවන් සිරිවර්ධන විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවට අභිනවයෙන් එක් වූ ‘කණ්ඩුල’ හස්ති රාජයා පෙරටුකරගත් හමුදා සම්ප්‍රදායානූකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද නව රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පුද කෙරිණි.

නව රෙජිමේන්තු අධිපතිතුමන් මානූෂිය මෙහෙයුමේදී දිවිපිදු ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රණවිරුවන් සිහිකිරීම පිණිස එම කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලද අතර එහිදී එතුමන් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

මේජර් ජෙනරල් චන්න වීරසූරිය සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛනයකට සංකේතාත්මකව අත්සන් තබමින් නව රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි භාරගනු ලැබීය.

උත්සව කටයුතු අවසානයේදී, සමූහ ඡායාරූපයකට පෙනි සිටි එතුමන් භටපිරිස් ඇමතීමෙන් පසුව අනතුරුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි කටයුතු හෙබවූ මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් චන්න වීරසූරිය මෙම තනතුරට පත් විය.