Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2022 15:19:10 Hours

ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථානයේ සේවයේ නියුතු සෙසුනිලයන්ට නව නේවාසික පහසුකම් සංකීර්ණයක්

ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ සේවයේ නියුතු යුද්ධ හමුදාවේ සෙසුනිලයන් 740 දෙනෙක්ගේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක් සපුරාලමින් ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයට නුදුරින් පිහිටි තලංගම උතුර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ නව නේවාසික පහසුකම් සංකීර්ණය අද (8) දින උදෑසන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකදී භටපිරිස් වෙත නිල වශයෙන් භාරදෙනු ලැබිණි.

මෙම නව නේවාසික පහසුකම් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ඉංජිනේරු සේවා බලකාය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය ඇතුලු යුද්ධ හමුදා භටපිරිස් මෙන්ම නාවික හා ගුවන් හමුදා සාමාජිකයින්ගේ ඉංජිනේරු සහ තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය මත සිදුකරන ලදී. නේවාසික පහසුකම් සංකීර්ණය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ආරාධනයෙන් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහභාගී වූ අතර, එතුමන්ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කරමින් නේවාසික පහසුකම් සංකීර්ණය විවෘත කරන ලදී.

මෙම උත්සවයේදී පීත්ත පටිය කැපීම සහ පොල්තෙල් පහන දැල්වීම ඇතුලු සාම්ප්‍රදායික චාරිත්‍රයන් සිදුකරමින් නව ගොඩනැගිල්ලේ විවෘත කිරීම සංකේතවත් කරන ලදී. නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කළමණාකරණය කරනු ලැබූ නිලධාරින් කිහිපදෙනෙකු විසින් නව නේවාසික පහසුකම් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හා සෙසුනිලයන් දැනුවත් කිරීමෙන් අනතුරුව එම පිරිස නේවාසික පහසුකම් සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය.

සුභසාධන ආපන ශාලාවක්, සේවා වනිතා වෙළඳසැලක්, වෛද්‍ය පරීක්‍ෂණ ඒකකයක් ඇතුළු අත්‍යාවශ්‍ය පහසුකම්වලින් සමන්විත මෙම නේවාසික සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සඳහා මහා භාණ්ඩාගාරයේ මාර්ගෝපදේශයන් මත ආරක්‍ෂක මූලස්ථාන අයවැය මගින් අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන වෙන්කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති විසින් මෙම උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ ආරක්‍ෂක ලේකම් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. මෙහි සමාරම්භක අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ගුවන් හමුදා සාමාජිකයින් පිරිසක් ද එක්වූහ.