Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2024 19:22:56 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.ඒ. වික්‍රමසිංහ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 33 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරල් සී.ඒ. වික්‍රමසිංහ යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් පසුගිය සඳුදා (මාර්තු මස 18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ කැපවූ සේවය ඇගයීමට ලක්කළ අතර, 2009 මැයි මාසයට ප්‍රථම ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුමේ අවසන් අදියර වෙනුවෙන් දැක්වූ දායකත්වය පිළිබඳව ද සිය කෘතඥතාවය පල කලේය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සී.ඒ. වික්‍රමසිංහ යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී, මෙම අවස්ථාවට ආරාධනා කිරීම වෙනුවෙන් සහ රාජකාරි කාලසීමාවේදී ලබාදුන් මඟපෙන්වීම් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්ව මව්බිම සුරැකීමේ කාර්යභාරයේ නිරතව සිටියදී එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිය කෘතඥතාවය පුදකළේය.

සුහඳ හමුව සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් සී.ඒ. වික්‍රමසිංහ යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී වෙත සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

එතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 නොවැම්බර් 03 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් සී.ඒ. වික්‍රමසිංහ යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී රත්මලාන, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ පාඨමාලා අංක - 8 යටතේ සහ දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් කෙඩෙට් නිලධාරි පාඨමාලාව සාර්ථකව අවසන් කර 1992 නොවැම්බර් මස 14 දින දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලැබූ එතුමන් 2024 පෙබරවාරි මස 16 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති (ආරක්‍ෂක සහ පරිපාලන) ධූරය හෙබවීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළදී 6 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කණ්ඩභාර නිලධාරි සහ බුද්ධි නිලධාරී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරී අංශයේ නිලධාරි උපදේශක සහ විධායක අධිකාරී, 8 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි කණ්ඩභාර නිලධාරි සහ බලඝණ අණදෙන නිලධාරි, 224 පාබල බලසේනාවේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ මාණ්ඩලික නිලධාරි 2 (පුහුණු), ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ පුහුණු අංශ ප්‍රධානී, 57 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 14 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණ ව්‍යපෘතියේ ව්‍යාපෘති කළමනාකරු (යාන්ත්‍රික සහ යන්ත්‍රෝපකරණ), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ කාර්ය සාධක බලකා U9 ශාඛාවේ නියෝජ්‍ය ප්‍රධානී, 11 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ කාර්ය නියුක්ත යුද සේවා සහකාර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ ලේකම්, 11 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත) සහ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කාර්යය මණ්ඩල අධ්‍යයන අධ්‍යක්‍ෂ සහ පුහුණු අංශ ප්‍රධානී සහ 551 පාබල බලසේනාවේ බලසේනාධිපති වැනි ධූරයන් රැසක් හොබවා ඇත.

එතුමන්ගේ හමුදා දිවිය තුළදී, ක්‍ෂේත්‍ර ඉංජිනේරු 1 වන පන්තිය පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව, මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කළමනාකරණ පාඨමාලාව, රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණශීලී සහ න්‍යෂ්ටික ප්‍රතිචාර II වන මට්ටමේ පාඨමාලාව, යුද්ධ හමුදා අණ සහ මාණ්ඩලික පාඨමාලාව, ඉංජිනේරු නිලධාරීන්ගේ මූලික පාඨමාලාව - බංගලාදේශය, අණ හා ප්‍රධාන මාණ්ඩලික පාඨමාලාව - ඇමරිකා එක්සත් ජනපදය, Engineer Officers Earth Moving Plant Workshop and Construction Plant Course in India සහ එක්සත් ජාතීන්ගේ පුරවැසියන්ගේ ආරක්‍ෂාව පිළිබඳ පුහුණු පාඨමාලා - වියට්නාමය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උසස් භූගෝලීය තාක්‍ෂණ පද්ධති සහ ඒවායේ යෙදුම් පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව, බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ ගැටුම් නිරාකරණය පිළිබඳ නිපුණතා සංවර්ධනය ඩිප්ලෝමාව, මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය ද හදාරා ඇත.