Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2024 18:28:31 Hours

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ඒ.පී. වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයකින් පසුව විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ හිටපු නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.පී. වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් අඟහරුවාදා (පෙබරවාරි මස 13) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූහ.

මෙම සුහද හමුවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විශ්‍රාම දිවියට එළඹෙන එම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විවිධ ධූරයන් හොබවමින් සිදුකළ කැපවීම සහ මානූෂීය මෙහෙයුම් කාලසීමාව තුළ දියත්කරනු ලැබු මෙහෙයුම් සඳහා එතුමන් දක්වනු ලැබු දායකත්වය සිහිපත් කරමින් සිය කෘතවේදීත්වය පිරිනැමීමෙන් අනතුරුව එතුමන්ගේ අනාගත අපේක්‍ෂාවන් වෙනුවෙන් සිය සුබපැතුම් ද එක් කළේය.

විශ්‍රාම දිවියට එළඹෙන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ පවුලේ සාමාජිකයින් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් ඒ.පී. වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි අභියෝගාත්මක කාලවකවානුවන්හිදී සිය පවුලේ සාමාජිකයන් විසින් එතුමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔවුන් වෙත සිය කෘතඥතාවය පුදකළේය.

යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඒ.පී. වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී සිය රාජකාරී කාලසීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් දිරිගැන්වීම් සහ තම රාජකාරින් ඉටුකිරීමේදී ලබාදුන් මඟපෙන්වීම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මෙම සුහද හමුව සමාප්තියේ, යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ සේවය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ඒ.පී. වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කරන ලදී.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1990 ජනවාරි මස 09 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත බැඳුණු මේජර් ජෙනරල් ඒ.පී. වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක - 33 සාර්ථකව හදාරා දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 ජුනි මස 15 දින ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් 2023 දෙසැම්බර් මස 09 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන විට එතුමන් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ධූරයේ රාජකාරි හොබවනු ලැබීය. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ 4 ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛණ්ඩභාර හා ප්‍රවාහන අංශභාර නිලධාරී, 23 පාබල සේනාංකයේ සංඥා නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි අංශයේ නිලධාරි උපදේශක හා අණදෙන නිලධාරී (බලන කණ්ඩායම), 511 පාබල බලසේනාවේ බලසේනා මේජර්, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක අධිකාරී, 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන අණදෙන නිලධාරි, 61 පාබල සේනාංකයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (මෙහෙයුම්), ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි 1 (පාලන), හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි, 9 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ මාණ්ඩලික නිලධාරි 1, 10 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ නිලධාරි කෙඩෙට් පුහුණු අංශයේ අණදෙන නිලධාරී, 621 පාබල බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සන්නිවේදන උපදේශක, යුද්ධ හමුදා මූලස්ථානයේ පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ, පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පර්යේෂණ, විශ්ලේෂණ යෝජනා හා සංවර්ධන අංශයේ අංශ ප්‍රධානි, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ වැනි ප්‍රධාන ධූරයන් රැසක් එතුමන් විසින් හොබවා ඇත.

එතුමන්ගේ සේවා කාලය බලඇණි බුද්ධි නිලධාරීන්ගේ පාඨමාලාව, නිලධාරි විශිෂ්ඨතා පාඨමාලාව, මෙහෙයුම් මාණ්ඩලික රාජකාරි පාඨමාලාව, යුද්ධ හමුදා අණ හා මාණ්ඩලික පාඨමාලාව, ආරක්‍ෂක උපදේශක සංස්කරණ පාඨමාලාව, සංඥා නිලධාරීන්ගේ මූලික පුහුණු පාඨමාලාව - බංග්ලාදේශය, මධ්‍ය නිලධාරි පුහුණු පාඨමාලාව - පාකිස්ථානය සහ එක්සත් ජාතීන්ගේ පුහුණු උපදේශක පාඨමාලාව - හයිටි වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් ඒ.පී. වික්‍රමසේකර යූඑස්පී පීඑස්සී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජාතික වෘත්තීය සුරක්‍ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ වෘත්තීය ආරක්‍ෂාව සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව, කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය සහ ඇමරිකා එක්සත් ජනපදයේ නාවික පශ්චාත් උපාධි විද්‍යාලයේ ආරක්‍ෂක අධ්‍යයන (ප්‍රතිපත්ති සහ උපායමාර්ගික) පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වැනි උසස් අධ්‍යාපනික සහ හමුදාමය නොවන පාඨමාලාවන් රැසක් ද හදාරා ඇත.