Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th October 2022 18:40:39 Hours

විශ්‍රාම දිවියට පා තබන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ට සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය

ගජබා රෙජිමේන්තුවට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ, මේජර් ජෙනරල් ශාන්ත රණවීර සහ බ්‍රිගේඩියර් උදය සේරසිංහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය බදාදා (05) දින පැවැත්විණි.

මෙම උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනා වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ගේ පිළිරුව වෙත පුෂ්පෝපහාර පුදකළහ. ඉන් අනතුරුව, එම රෙජිමේන්තු සරඹ භූමියේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනා වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් එම රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් ගනු ලැබූ සමූහ ඡායාරූප සඳහා එක්වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනා සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්වූහ.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ ගජබා රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සේවය පැසසුමට ලක්කරමින් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ සුරතින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් තිදෙනා වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කළේය. මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් විශ්වජිත් විද්‍යානන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් ද එක්වූහ.