Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2022 21:40:12 Hours

විශ්‍රාම දිවියට පා තබන ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාරය හිමිවෙයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවාවක් ඉටුකරමින් නුදුරේදී විශ්‍රාම දිවියට පා තැබීමට නියමිත හිටපු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය සෙනසුරාදා (03) දින පැවති අතර එහිදී එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ එම රෙජිමේන්තුවේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. අනතුරුව, එම රෙජිමේන්තු පරිශ්‍රයේ ඉදිකරනු ලැබූ නව සැරයන් මේජර් නිවාඩු නිකේතනය සහ ප්‍රතිසංස්කරණය කරනු ලැබූ පී.ඩී. රාමනායක අනුස්මරණ පා පන්දු හා රග්බි ක්‍රිඩාංගණය ද එතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. මෙම උත්සවයේ පළමු අදියර දිවා භෝජන සංග්‍රහයත් සමගින් සමාප්ත විය.

එදින සන්ධ්‍යාවේ ඉංජිනේරු බලකා නිලධාරි නිවස්නයේදී පැවති රාත්‍රී භෝජන සංග්‍රහයේදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන විසින් විශ්‍රාම ලබන මේජර් ජෙනරාල් චන්දන විජයසුන්දර වෙත සිය රෙජිමේන්තුවේ උපහාරය පුදකරමින් විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

මේජර් ජෙනරාල් චන්දන විජයසුන්දර විශ්‍රාම ගැනීමට පෙර දින ඉංජිනේරු සේනාංකයේ සිය අවසන් නිල සංචාරය සිදුකරනු ලැබූ අතර එහිදී ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් ඉතා උණුසුම් අයුරින් එතුමන්ව එම සේනාංක පරිශ්‍රය වෙත පිළිගන්නා ලදී.