Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th March 2023 08:40:47 Hours

විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

වසර 35 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවාකාලය අවසන් කර විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා සංඥා බලකායේ 15 වන බලකාධිපති සහ යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් ලලිත් හේරත් වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ඉකුත් බ්‍රහස්පතින්දා (02) දින පැවැත්විණි. උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ලලිත් හේරත් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කසුන් අධිකාරි විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, අනතුරුව එම බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබූහ.

අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ සංඥා බලකායේ වීරෝදාර රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දැක්වූ එතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන පෙළපාලියේ ගෞරවාචාරය ද පුදකරනු ලැබූ අතර, පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී විය. උත්සව අවස්ථාව අතරතුර, මේජර් ජෙනරල් ලලිත් හේරත් විසින් සියලුම භටපිරිස් ඇමතූ අතර, අනතුරුව එතුමන් වෙත රෙජිමේන්තුව වෙනුවෙන් සිදුකරන ලද කීර්තිමත් සේවය අගයමින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. උත්සව අවස්ථාවට වැදගත්කමක් එක්කරමින් මේජර් ජෙනරල් ලලිත් හේරත් විසින් ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන නිලධාරී නිවස්නයේ අභිනවයෙන් ඉදිකරන ලද කර්නල් නිලයේ නිවස්නය ද විවෘත කරන ලදී. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ ප්‍රධාන මාර්ගය දෙපස රැඳී සිටි නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සුභපැතුම් සහ ගෞරවාචාර මධ්‍යයේ මේජර් ජෙනරල් ලලිත් හේරත් සිය රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම යාම සිදුවිය.