Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th March 2022 09:34:35 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන 1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පසුගිය සඳුදා (14) දින සිය භාර්යාව සමඟින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සිය ආදර්ශමත් වෘත්තීය දිවිය තුල විශේෂ බලකායේ කැපීපෙනෙන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවේ අනෙකුත් නිලධාරින්ට ආදර්ශයක් වෙමින් නායකත්ව ගුණාංගයන් මැනවින් පිළිබිඹු කරනු ලැබීය.

මෙම සුහද හමුවේදී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ කීර්තිමත් වෘත්තීය දිවිය පිළිබඳ සිහිපත් කළ අතර යුදබිමේදී ලද ජයග්‍රහණ සහ භටපිරිස් කළමණාකරණය වැනි ගුණාංගයන් පිළිබඳව පැසසුමට ලක්කරන ලදී.

මෙම අවස්ථාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතීතාවර්ජනය කරමින් "ඔබේ අණදීමේ හැකියාව, විශිෂ්ඨ සේවය තුලින් භටපිරිස්හී උපායශීලී රැකියා නියුක්තිය, ඉහළ පක්‍ෂපාතිත්වය සහ අඛණ්ඩතාව සමඟින් අනුපමේය සේවය රට වෙනුවෙන් විශිෂ්ඨ අයුරින් ලබාගැනීමේ හැකියාව ලද අතර අනාගතයේදී ඔබ විසින් සිදුකරනු ලැබූ කාර්යභාරයන් ඉටුකරගැනීම අතිශයින් අභියෝගාත්මක බව මැනවින් පිළිබිඹු වේ. මානුෂීය මෙහෙයුමේදී තෙවරක් බරපතළ තුවාල ලැබූ ඔබ කිසිවිටෙකත් පසුබට නොවී රට ත්‍රස්තවාදයෙන් මුදා ගැනීමට පෙරමුණට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විය. වර්ෂ 1996 දී කිලිනොච්චිය ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත් ආකාරයත් එම වර්ෂයේදීම ත්‍රස්තවාදීන් විශාල පසුබෑමකට ලක්කරමින් මුලතිව් මුදාගැනීමේ මෙහෙයුම මෙහෙයවූ ආකාරයත් ආවර්ජනය කළ යුතුයි. මානුෂීය මෙහෙයුම් අවසන් අදියරට පැමිණෙමින් තිබියදී වර්ෂ 2008 දී කිලිනොච්චිය මුදාගැනීමේ දී ද ඔබ බලවත් හස්තයක් වූ බව” ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම, විශේෂ බලකායේ අභිවෘද්ධීය වෙනුවෙන් සහ 1 බලකා මූලස්ථානය ස්ථාපිත කිරීම වෙනුවෙන් එතුමන් දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් “ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස ඔබ යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් සිදුකළ අතර ඔබ වෙත පවරනු ලැබූ වගකීම් නිසි ආකාරයෙන් ඉතා කාර්යක්‍ෂමව කළමණාකරනය කරනු ලැබුවා. නායකත්වයේ සහ නිර්භීතකමේ ලක්‍ෂණයන් සැබෑ වශයෙන්ම පිළිබිඹු කරමින් ඔබ වෙත පවරනු ලැබූ සියළු අභියෝගයන් අවංකභාවයෙන් යුතුව ඉටුකරන ලදී. එම ගුණාංගයන් අනෙකුත් නිලධාරින්ට ආදර්ශයක් වන අතර ඔබගේ වෘත්තීය දිවිය තුළ කැපී පෙනෙන සන්ධිස්ථාන, මතකයන් සහ යුද පිටියේ විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් ඇති බව” ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට සුවිශේෂීත්වයක් එක්කරමින් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ භාර්යාව වන ප්‍රියන්ති රණසිංහ මහත්මිය විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත විශේෂ ඇගයීමේ ලිපියක් ප්‍රදානය කරනු ලැබූ අතර ත්‍රස්තවාදීන්ට එරෙහි සටනට නායකත්වය ලබාදෙන විට වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් තම ස්වාමි පුර්ෂයා වෙත දැක්වූ සුහදත්වය පිළිබඳ එම ලිපියේ සඳහන්ව තිබිණි.

“සැබෑ නායකත්ව ගුණාංගයන් පෙන්නුම් කරමින් මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක අවධීන්හිදී තම ස්වාමි පුර්ෂයා සමඟ අත්වැල් බැඳගනිමින් ඔබ කටයුතු කරනු ලැබුවා. තම සමකාලීනයන් මෙන්ම සෙසුනිලයන්ගේ ද ඇගයීමට ලක්වීමට එය බෙහෙවින් ඉවහල් වී ඇත.” යනුවෙන් එම ලිපයේ සඳහන්ව තිබිණි.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත සැලසුම් පිළිබඳ විමසා බැලූ යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ භාර්යාව සමඟින් ද අදහස් හුවමාරු කරගත් අතර එහිදී, එක්සත් රාජධානියේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඔවුන්ගේ එකම දරුවාගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳ විමසුවේය.

මෙම සුහද හමුවේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලද දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය. මෙම අවස්ථාවේදී සිය අදහස් දක්වමින් “ඔබ මට ආදර්ශයක් වෙමින් මගේ වෘත්තීය දිවියට අත්වැලක් ලබාදුන් අතර වොෂින්ටන්හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම කර්නල්වරයා වශයෙන් සේවය කිරීමට ද මඟපෑදුවේ ඔබ විසිනි. මා සතු හැකියාවන් මැනවින් හඳුනාගනිමින් විවිධ ස්වරූපයන්හී කාර්යභාරයන් සහ වගකීම් මා සතුව පැවරීමට ඔබ කටයුතු කරනු ලැබුවා. අපගේ සාර්ථකත්වය වෙනුවෙන් ඔබේ මඟපෙන්වීම ඉමහත් රුකුලක් වූ අතර සහෝදරයෙකුට මෙන් මා හට දැක්වූ සහයෝගය කිසිදා අමතක නොවන බව” ද මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ප්‍රකාශ කරන ලදී.

අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ගේ සේවය ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ පිළිබඳ කෙටි විස්තරයක් පහතින් දැක්වේ;

මේජර් ජෙනරල් හරේන්ද්‍ර පරාක්‍රම රණසිංහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. වර්ෂ 1967 මාර්තු මස 18 දින උපත ලද එතුමන් කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් සිප්සතර හදාරණ ලදී.

අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කළ එතුමන් වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට ඇතුලත් වූ අතර වර්ෂ 1987 ජුලි මස 23 වන දින අධිකාරියට පත්ව ගැමුණු හේවා බලකාය වෙත අනියුක්ත කෙරිණි. වර්ෂ 1990 දී ස්වෙච්ඡාවෙන්ම විශේෂ බලකාය වෙත ඇතුලත් වූ එතුමන් විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක 07 සාර්ථකව අවසන් කරන ලදී.

1 බලකායේ බලකාධිපති ධූරයට පත්වීමට ප්‍රථම මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සිය කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 2 විශේෂ බලකායේ අණදෙන නිලධාරි, 1 විශේෂ බලකායේ අණදෙන නිලධාරි, විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක, 58 සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 571 බලසේනාවේ බලසේනාධිපති, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක, විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, 56 සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකි. එතුමන් දේශීය පාඨමාලාවන් සහ ඉන්දියාව, පකිස්ථානය, චීනය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව සහ ජෝර්දානය යන රටවලදී විදේශීය හමුදා පුහුණු පාඨමාලාවන් රැසකට ද සහභාගී වී ඇත.

මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුම්වලදී දැක්වූ වීරත්වය සහ නිර්භීතකම වෙනුවෙන් එතුමන් වෙත ‘රණවික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කම’ යන පදක්කම් ද්විත්වය ද පිරිනමා ඇත. ත්‍රස්තවාදීන් සමඟ ඇති වූ ඍජු ගැටුම්වලදී තුවාල ලැබුවද මානුෂීය මෙහෙයුමේ අවසානය තෙක් එතුමන්ගේ අභිමානවත් සේවය රට වෙනුවෙන් ලබා දී ඇත.

වසර 34 ක යුද්ධ හමුදා දිවිය තුළ නිකැලැල් සේවාවක් සිදුකරනු ලැබූ මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහට සහ එතුමන්ගේ භාර්යාව වන ප්‍රියන්තී රණසිංහ මහත්මියට එක් පුතෙකු සිටියි.