Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th March 2022 08:47:10 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ පසුගිය බදාදා (16) දින සිය පවුලේ සාමාජිකයින් සමඟින් යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුල විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ කැපවීමෙන් සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය.

මෙම අවස්ථාවේදී සිය අදහස් දක්වමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා “අව්‍යාජ නිලධාරියෙක් වන ඔබ දුෂ්කර මාවතක් ඔස්සේ මේජර් ජෙනරල් නිලය වෙත පැමිණ ඇත. පාබල හමුදා සාමාජිකයෙකු ලෙස ආදර්ශමත් සේවාවක නිරත වෙමින් උපකරණ මාස්ටර් ජෙනරල් තනතුර වෙනුවෙන් ඔබ සුවිශේෂී දායකත්වයක් ලබාදුන්නේය. යුද්ධ හමුදාව වෙතින් බිහිකරනු ලැබූ තවත් එක් අභිමානවත් මේජර් ජෙනරල්වරයෙකු ලෙස විශ්‍රාම දිවියට පා තබන ඔබ සියළු දෙනාගේ ගෞරවයට පාත්‍රවනු ඇත. තම ආදරණීය බිරිඳ මෙලොවෙන් සමුගත්තද, ඔබ එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදීන් සමඟ සටන් බිමෙහි සිටි කාලය තුල ඇය සුජීවත්ව සිටියදී දරුවන් දෙදෙනාගේ කටයුතු අතපසු නොකරමින් කල කැපකිරීමද ප්‍රශංසනීයව සිහිපත්කිරීමට කැමැත්තෙමි. ඔබේ වගකීම් නිසිආකාරව ඉටුකිරීම වෙනුවෙන් ඇය ලබාදුන් නොපසුබස්නා සහයෝගය වෙනුවෙන් අප සැමගේ ප්‍රශංසාව ඇය වෙත හිමිවිය යුතු බවද” එහිදී ප්‍රකාශ කරන ලදී.

“යුද බිමේදී නිර්භීතව කටයුතු කරමින් පෙරමුණ ගෙන ක්‍රියාකල කළ ඔබ සමඟ එවකට සිටි බොහෝ පිරිසක් අද වනවිට රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර කටයුතුවල නිරත වෙමින් සිටින බව මෙම අවස්ථාවේදී ආවර්ජනය කළ යුතු වේ. දුෂ්කර මාවතක් පසුකරමින් අභියෝගාත්මක මාවතක් ඔස්සේ මේජර් ජෙනරල් නිලයට සපැමිණි ඔබ විශිෂ්ඨ පදක්කම් ද්විත්වයකට හිමිකම් කියනු ලබයි’’ යනුවෙන් පවසමින් යුද්ධ හමුදාධිපතිතුමන් ඔහුගේ කැපකිරීම පිළිබදව සිහිපත් කලේය.

මෙම සුහද හමුව සඳහා එක් වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ ගේ දරුවන් දෙදෙනාගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් ද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සුභාශිංෂනයන් එක් කරන ලදී. “අනාගතයේදීද ඔබ සියළුදෙනා වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව ඕනෑම අවස්ථාවක සහයෝගය ලබාදීමට මා කටයුතු කරන බව ද” එතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.  

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළ දී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය. “අප 53 වන සේනාංකය ඇතුළු යුද බිමේ අනෙකුත් ස්ථානයන්ගේ සේවය කරන විට ඔබ අපගේ සමීපයෙන් රැඳීසිටිමින් විශාල සහයෝගයක් අප වෙත ලබාදෙනු ලැබුවා. සොල්දාදුවාගේ අවශ්‍යතාවයන් නිසි ආකාරයෙන් හඳුනාගන්නා ඔබ ඔවුන් දිරිගැන්වීමට සහ ඔවුන්ගේ චිත්ත ධෛර්යය වැඩිදියුණු කිරීමට සෑම අවස්ථාවකම කටයුතු කරනු ලැබූ බව” එතුමන් ප්‍රකාශ කරන ලදී.

මෙම සුහද හමුව සමාප්තියේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත විශේෂ ත්‍යාගයන් ද ප්‍රදානය කරන ලදී.

මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ;

මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ සිය කීර්තිමත් සේවා කාලය තුළ 241 වන බලසේනාවේ බලසේනාධිපති, 532 වන බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී මෙන්ම විශ්‍රාම යන අවස්ථාව වන විට යුද්ධ හමුදා මූලස්ථානයේ උපකරණ මාස්ටර් ජෙනරාල් යන තනතුරු හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පාකිස්ථානයේ තරුණ නිලධාරි පුහුණු පාඨමාලාව, ඉන්දියාවේ කනිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව, ඉන්දියාවේ පැරෂුට් පාඨමාලාව, බංගලාදේශයේ ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව, බංගලාදේශයේ ජාතික ආරක්‍ෂක පාඨමාලාව සහ ජපානයේ දකුණු ආසියාව සඳහා බහු ජාතික සහයෝගීතා වැඩසටහන ඇතුළු තවත් පාඨමාලා රැසක් හදාරා ඇත.   

මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ පිළිබඳ ජීවදත්ත තොරතුරු පහතින් දැක්වේ;  

ප්‍රදීප් ජෝ ප්‍රියන්ත ගමගේ වර්ෂ 1987 මාර්තු මස 16 දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාව වෙත ඇතුලත් විය. දියතලාව ශ්‍රී ලංකා හමුදා යුද්ධ විද්‍යාපීඨයේ හමුදා පුහුණුව සාර්ථකව නිමකිරීමෙන් අනතුරුව දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත් වූ එතුමන් වර්ෂ 1988 දෙසැම්බර් මස 10 දින ශ්‍රී ලංකා පාබල හමුදාවට අනියුක්ත කෙරිණි. සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ බොහෝ කැපකිරීම් සිදුකර උසස්වීම් ලබමින් වර්ෂ 2020 අගෝස්තු මස 03 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය. වයස අවුරුදු 55 සම්පූර්ණ වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ 2022 මාර්තු මස 24 දින සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිතව ඇත.  

මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ යුද්ධ හමුදාවේ ඉහළම වෘත්තීය ප්‍රමිතීන් පවත්වා ගනිමින් තම වගකීම් නිසි අයුරින් ඉටුකරනු ලබන විශ්වාසවන්ත සහ විනයගරුක ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය සේවා කාලය තුළ පහත දක්වා ඇති ධූරයන් ද හොබවා ඇත.   

14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රයිෆල් කණ්ඩායමේ අණදෙන නිලධාරි, පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි III (ක්‍රියාන්විත), ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය 1 වන කාර්ය සාධක බලකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II (සම්බන්ධීකරණ), ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන කණ්ඩායමේ නිලධාරි අණදෙන, 6 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ දෙවන අණදෙන නිලධාරි, 11 වන සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), 23 වන සේනාංක මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (සම්බන්ධීකරණ), 3 වන කාර්ය සාධක බලකා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි I (ක්‍රියාන්විත), 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි සහ 56 වන සේනාංක මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ධූරය ද මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ විසින් හොබවා ඇත.

එමෙන්ම, 631 වන බලසේනාවේ බලසේනාධිපති, 241 වන බලසේනාවේ බලසේනාධිපති, 532 වන බලසේනාවේ බලසේනාධිපති, 532 වන බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ මානව හිමිකම් හා මානුෂවාදී නීති අධ්‍යක්‍ෂ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික ප්‍රධානි ශාඛාවේ අධ්‍යක්‍ෂ ජෙනරල් ධූරය ද එතුමන් විසින් හෙබවීය.

සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ මේජර් ජෙනරල් ප්‍රියන්ත ගමගේ වෙත පහත දක්වා ඇති පදක්කම් පිළිගන්වා ඇත.

රණ වික්‍රම පදක්කම, රණශූර පදක්කම දෙවරක්, දේශ පුත්‍ර පදක්කම, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, 50 වැනි නිදහස් දින සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 50 වන සංවත්සර සැමරුම් පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානි පදක්කම සහ සේවා පදක්කම එතුමන් වෙත පිළිගන්වා ඇත.