Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2022 16:27:30 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් නිශාන්ත හේරත් ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාවේ වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කරමින් නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් නිශාන්ත හේරත් පසුගිය සඳුදා (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය.  

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුළ විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ඇගයීමට ලක්විය.

මානුෂීය මෙහෙයුමේදී එතුමන්ගේ කැපවීම පිළිබඳ සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් 5 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලෙස මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වන්නි ප්‍රදේශයේ සියලුම මෙහෙයුම් සඳහා දැක්වූ සංග්‍රාමික ඉංජිනේරු දායකත්වය මෙන්ම වර්ෂ 2007 මාර්තු මස සිට 2008 දෙසැම්බර් මස දක්වා කාලය තුළ රණක්‍ෂිතයට පත්ව සිටියදීත් බටහිර වෙරළ කලාපය සහ නැගෙනහිර වෙරළ කලාපයන් සම්බන්ධ කිරීමෙහිලා දැක්වූ දායකත්වය ද මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් පැසසුමට ලක්කරන ලදී.

එමෙන්ම, යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය උදෙසා මේජර් ජෙනරල් නිශාන්ත හේරත් වෘත්තීයමය නීති උපදේශන කටයුතුවල නිරත වීම මෙන්ම සිය සේවා කාලය තුළ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක ධූරය භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම තවත් ප්‍රධාන තනතුරු රැසක් හොබවමින් සිදුකළ අනගී සේවය යුද්ධ හමුදාධිපතිතුමන් ගේ පැසසුමට ලක්විය.

වර්ෂ 1990 දී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් දෙවන ඊළාම් යුද්ධයේ ආරම්භයත් සමඟ නැගෙනහිර ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුම් අතරතුරදී මේජර් ජෙනරල් නිශාන්ත හේරත් බරපතළ ලෙස තුවාල ලැබීය. ඉන් සුවය ලැබූ මේජර් ජෙනරල් නිශාන්ත හේරත් ඉදිරියට පැවති මෙහෙයුම් සඳහා නිර්භීතව සිය දායකත්වය ලබාදුන්නේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 35 ක සේවා කාලය තුල මේජර් ජෙනරල් නිශාන්ත හේරත් කැපවීමෙන් සහ ඉහළම විනයකින් යුතුව නොකැළැල් සේවයක නිරත වූ විශිෂ්ඨ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.

මානුෂීය මෙහෙයුමේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් දේශපුත්‍ර පදක්කමෙන් පිදුම් ලද එතුමන් උත්තම සේවා පදක්කම, 50 වන නිදහස් දින සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර සැමරුම් පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, පූර්ණ භූමි පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම සහ එතුමන්ගේ නිර්භීතකම වෙනුවෙන් රණ සූර පදක්කමෙන්ද මේජර් ජෙනරල් නිශාන්ත හේරත් පිදුම් ලබා ඇත.

මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් නිශාන්ත හේරත් සිය අදහස් දක්වමින් තම වෘත්තීය ජීවිතය තුළදී යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් සහයෝගය, මඟපෙන්වීම, උපදෙස්, දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් ද සිය ස්තූතිය පුදකළේය. සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් නිශාන්ත හේරත් ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි මිහිරි හේරත් මහත්මිය සහ එතුමන්ගේ දියණියන් දෙදෙනා ද යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම සුහද හමුව සඳහා එක්වූහ.