Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th March 2022 13:22:24 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

යුද්ධ හමුදාවට සහ සිය රෙජිමේන්තුවට අභිමානයක් හා ගෞරවයක් එක්කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ තවත් එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වශයෙන් 68 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ඇතුළු සිය පවුලේ සාමාජිකයින් සඳුදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

මෙම සුහද හමුව අතරතුරදී, යුද්ධ හමුදාව තුල විවිධ තනතුරු හොබවමින් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර කැපවීමෙන් සිදුකරනු ලැබූ සේවය සහ එතුමන්ගේ පක්‍ෂපාතීත්වය මෙන්ම අවංකභාවය පිළිබඳ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක්විය.

යුද්ධ හමුදාධිපතිපතිතුමන් විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනාගත සැලසුම් පිළිබඳ විමසා බැලීමෙන් අනතුරුව මෙම සුහද හමුව සඳහා සහභාගී වූ මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ පවුලේ සාමාජිකයින් සමග සුහද අදහස් හුවමාරුවක ද නිරත විය.

කෑගල්ල බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ දියණියගේ සුරතින් නිර්මාණය කරනු ලැබූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සිතුවමක් ද මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කරනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම නිර්මාණය ඇගයීමට ලක්කරමින් ඇයට ස්තූතිවන්ත විය.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන ප්‍රගතිය පිළිබඳ විමසමින් ඔවුන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා සුභාෂිංශනයන් එක්කළ අතර මවුබිමේ එ්කීයභාවය වෙනුවෙන් සටන්වැදුනු මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර වෙත ලබාදුන් නොමසුරු සහයෝගය වෙනුවෙන් එතුමන්ගේ භාර්යාව ද ඇගයීමට ලක්කරන ලදී. ගෘහණියක් වශයෙන් තම පවුලේ කිසිදු පීඩනයක් තම ස්වාමිපුර්ෂයාට නොදී දරුවන්ගේ වගකීම් නිසි ආකාරව ඉටුකරමින් සිදුකරනු ලැබූ කැපවීම ද යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාවේදී සිහිපත් කළේය.

මෙම සුහද හමුවේදී විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලද දිරිගැන්වීම් සහ සුබපැතුම් වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය. අනතුරුව, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ගේ සේවය ඇගයීමට ලක් කරමින් විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.  

මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ;

වර්ෂ 1967 මාර්තු මස 17 දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ උපත ලද මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

වර්ෂ 1988 පෙබරවාරි මස 22 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාව වෙත ඇතුලත් වූ එතුමන් පාඨමාලා අංක 29 යටතේ ලෝක ප්‍රකට ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨය තුලින් සිය මූලික කැඩෙට් නිලධාරි පුහුණු පාඨමාලාව හදාරන ලදී.  

වර්ෂ 1989 දෙසැම්බර් මස 16 දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත් වූ එතුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අනියුක්ත කිරීමෙන් අනතුරුව 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ඇතුලත් කෙරිණි.

මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ඒකක බුද්ධි නිලධාරි, විධායක අධිකාරි, කණ්ඩායම් අණදෙන නිලධාරි සහ මෙහෙයුම් හා පුහුණු නිලධාරි වැනි තනතුරු හෙබවූ අතර 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි ලෙස ද කටයුතු කරනු ලැබීය.

මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර උපදේශක නිලධාරියෙකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ දියතලාව සහ ගන්නෝරුව කණ්ඩායම්හී අණදෙන නිලධාරි වශයෙන් වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ඨ නිලධාරින් රැසක් බිහිකිරීමට කටයුතු කරන ලදී.  

දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයට උපාධි වැඩසටහන හඳුන්වාදීමේ වැඩසටහනේදී ද එතුමන් පුරෝගාමී සාමාජිකයකු ලෙස ඒ වෙනුවෙන් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. මෙම හඳුන්වාදීමේ වැඩසටහන අතරතුර, ඵලදායී පුහුණු වැඩසටහනක් නිර්මාණය කිරීමේ අරමුණින් පුහුණු සිසුන්ගේ සහ රටේ අනාගතයට වටිනාකමක් එක් කරමින් පකිස්තානයේ ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක් සිදුකරන ලදී.

ත්‍රස්තවාදී තර්ජන මධ්‍යයේ අලිමංකඩ ප්‍රදේශයේ සේවය කළ මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදූ කෝප්‍රල් ගාමිණී කුලරත්නගේ වීර ක්‍රියාව සමීපව දුටු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වේ.  

මාතෘභුමියේ ඒකීයභාවය වෙනුවෙන් සිදුකරනු ලැබූ යාපනය ජයසිකුරු, ජයශක්ති, බලවේගය I සහ II, වැලිඔය හයේ පහර, දුරගමන, මන්නාරම හරිත තීරය මෙහෙයුම්, රිවිකිරණ, යාපනය අග්නිකීල, රිවිරැස II, වන්නිවික්‍රම II, සත් ජය වැනි මෙහෙයුම්වල සාර්ථකත්වය වෙනුවෙන් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර සිය දායකත්වය ලබාදී ඇති අතර උතුරු නැගෙනහිර අවසන් මානුෂීය මෙහෙයුම සඳහා ද එතුමන්ගේ දායකත්වය ලබාදුන් දක්‍ෂ නිලධාරියෙකු ද වේ.

එතුමන්ගේ ධෛර්යය සහ විශිෂ්ඨ දස්කම් සහ යුද පිටියේ දැක්වූ සුවිශේෂී වීරත්වය වෙනුවෙන් එතුමන් වෙත කීර්තිමත් ‘රණ ශූර පදක්කම’ මෙන්ම යුද්ධ හමුදාව තුල සිදුකළ නොකැළැල් සේවය ඇගයීමට ලක්කරමින් ‘උත්තම සේවා පදක්කම’ ද එතුමන් වෙත පිළිගන්වා ඇත.

තවද, මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කළ කීර්තිමත්, ආදර්ශමත් සහ පක්‍ෂපාතී සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ සේවා පදක්කම ප්‍රදානය කරනු ලැබීය. එමෙන්ම, විවිධ මෙහෙයුම් සඳහා එතුමන් වෙත පදක්කම් රාශියක් හිමිගන්වා ඇත.  

ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය මත පදනම්ව සහ තෝරාගැනීමේ විභාගයකින් අනතුරුව වර්ෂ 2007 දී, සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා භට කණ්ඩායමේ හමුදා නිරීක්‍ෂකයෙකු ලෙස සේවය කිරීමට මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර තෝරාගනු ලැබීය.

වර්ෂ 2008 සිට 2010 දක්වා කාලය තුළ 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර තොප්පිගලින් ආරම්භ වූ වෙල්ලමුල්ලිවයික්කාල්හි මෙහෙයුම අවසන් වන තෙක් නැගෙනහිර සහ වන්නි සටන් පෙරමුණේ මානුෂීය මෙහෙයුමේදී සිය බලඇණිය මෙහෙයවීය.

සිය හමුදා දිවිය තුළ 141, 581 සහ 541 පාබල බලසේනාවල බලසේනාධිපති ධුරය ද එතුමන් විසින් හෙබවූවේය. 141 බලසේනාවේ බලසේනාධිපති ධුරයේ සේවය කරන කාලය තුල එතුමන් රණවිරු සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ධුරයන් ද හෙබවූවේය.

මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර දේශීය හා විදේශීය වශයෙන් කීර්තිමත් පාඨමාලා රැසක් හදාරණ ලදී.

එතුමන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල සහ ඌව කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසල තුලින් තරුණ නිලධාරි පාඨමාලාව, ගන්නෝරුව විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාලය තුලින් මෝටර් රථ ප්‍රවාහන නිලධාරි පාඨමාලාව, ඌව කුඩාඔය කමාන්ඩෝ පුහුණු පාසල තුලින් මූලික පැරෂුට් පාඨමාලාව, මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය තුලින් ආරක්‍ෂක මාධ්‍ය කළමනාකරණ පාඨමාලාව, බංගලාදේශයේ නිලධාරි අවි පාඨමාලාව, පකිස්ථානයේ තරුණ නිලධාරී පාඨමාලාව, ඉන්දියාවේ කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, ආර්ජන්ටිනාවේ මූලික හමුදා නිරීක්‍ෂක පාඨමාලාව, ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන පාඨමාලාව සහ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි නගරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් සඳහා ආරක්‍ෂක ප්‍රතිචාර පාඨමාලාව ආදී දේශීය සහ විදේශීය පාඨමාලාවන් රැසක් හදාරනු ලැබීය.  

එමෙන්ම, මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් ඒකාබද්ධව පවත්වන ලද ‘මිත්‍රශක්ති ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ’ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ/ උපදේශක ලෙස ද කටයුතු කර ඇත.

යුද්ධ හමුදා විෂය ක්ෂේත්‍රයට පරිබාහිරව අධ්‍යාපනික වශයෙන් පාඨමාලාවන් හදාරා ඇති මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර ශ්‍රී ලංකා සංවර්ධන හා පරිපාලන ආයතනය තුලින් පුද්ගල කළමණාකරනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හදාරනු ලබයි.

කෑගල්ල, පුස්සැල්ල මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ලෙස කටයුතු කරනු ලබන ස්වර්ණලතා පණ්ඩිතරත්න මහත්මිය සමඟ විවාහ ගිවිසගෙන සිටිනු ලබන මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර දෙපළ දියණියන් දෙදෙනෙකුගේ සහ එක් පුතනුවෙකුගේ ආදරණිය දෙමව්පියන් වේ.