Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th November 2023 10:20:48 Hours

විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 34 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ආරක්‍ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් අඟහරුවාදා (නොවැම්බර් මස 14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය.

එහිදී පැවති සුහද හමුවේදී, මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී ගේ යුද්ධ හමුදාවේ මතකයන් සහ මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය වෙනුවෙන් සිදුකළ කැපවීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඇගයීමට ලක් වූ අතර සංඥා බලකායේ නිලධාරියෙකු වශයෙන් යුද්ධ හමුදාවේ විවිධ තාක්‍ෂණික අංශයන් වැඩිදියුණු කිරීම උදෙසා දැක්වූ දක්‍ෂතාවයන් පිළිබඳව ද ඇගයීමට ලක්කෙරිණි.

මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී වෙත යුද්ධ හමුදාධිපතිතුමන් සිදුකරනු ලැබූ ආරාධනයට ස්තුතිය පුද කරමින් සිය රාජකාරී කාලසීමාව තුළ එතුමන් ලබාදුන් දිරිගැන්වීම් හා මඟපෙන්වීම වෙනුවෙන් සිය කෘතඥතාව පුදකළේය.

මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී සමඟින් සුහදව අදහස් හුවමාරුකරගනිමින් අනාගත කටයුතු හා සැලසුම් වෙනුවෙන් සුබපැතුම් එක්කළ යුද්ධ හමුදාධිපතිතුමන්, එතුමන්ගේ පවුලේ සාමාජිකයන් සමඟින්ද සුහදව අදහස් හුවමාරුකරගනිමින් වෘත්තීය දිවිය තුළ විවිධ අභියෝගාත්මක කාර්යභාරයන් ඉටුකරන සමයේදී සිය පවුලේ සාමාජිකයන් එතුමන් වෙත ලබාදුන් සහයෝගය ඇගයීමට ලක්කළේය.

සුහඳ හමුව සමාප්තියේදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී වෙත විශේෂ සමරු තිළිණයක් සහ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ තිළිණයක් ප්‍රදානය කරන ලදී. එහිදී, විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ සුරතින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ද සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබීය.

විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

වර්ෂ 1989 ජනවාරි මස 20 දින කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලකාය වෙත ඇතුළත් වූ මේජර් ජෙනරල් ආර් ඇල්විටිගල යූඑස්පී දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ ඉන්දියානු හමුදා විද්‍යාපීඨය වෙතින් පාඨමාලා අංක - 31A යටතේ යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව හදාරා දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1991 අප්‍රේල් මස 05 දින ශ්‍රී ලංකා සංඥා බලකාය වෙත අනුයුක්ත කෙරිණි. යුද්ධ හමුදා සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් එතුමන් වර්ෂ 2023 ඔක්තෝබර් මස 10 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

විශ්‍රාම දිවියට එළඹෙන තබන විට එතුමන් ආරක්‍ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ධූරයේ කටයුතු කර ඇත. එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ ඛන්ඩ භාර නිලධාරි, සංඥා පුහුණු පාසලේ පුහුණු නිලධාරි, 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ අභ්‍යන්තර ආරක්‍ෂක ඛන්ඩයේ ඛන්ඩ භාර නිලධාරි, 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ ගුවන් විදුලි ක්‍රියාකරු ඛණ්ඩයේ නිලධාරී අණදෙන, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරි පුහුණු උපදේශක, 1 ශ්‍රී ලංකා සංඥා බලකායේ විධායක අධිකාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ විද්‍යුත් සංග්‍රාමික බලඝණයේ නිලධාරී අණදෙන, හයිටි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ දෙවන අණදෙන නිලධාරී, ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (ක්‍රියාන්විත), 1 සහ 7 ශ්‍රී ලංකා සංඥා බලකායන්හි අණදෙන නිලධාරි, සංඥා පුහුණු පාසලේ සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (විද්‍යුත් සංග්‍රාමික), යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලයේ වැඩබලන ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1 (සන්නිවේදන), යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ වැඩබලන කර්නල් (සම්බන්ධීකරණ), යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන සංඥා නිලධාරි කාර්යාලයේ කාර්යයේ නියුතු ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරී, ආරක්‍ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ගුවන්විදුලි හා ඉලෙක්ට්‍රොනික අංශයේ කාර්යයයේ නියුතු ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරී (ව්‍යාපෘති), ආරක්‍ෂක අමාත්‍යංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකාරක නිලධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථාන - මුලතිව් කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 233 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික ප්‍රත්‍යන්ත අවදානම් ඇගයීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ වැනි ප්‍රධාන ධූරයන් රැසක් හොබවනු ලැබීය.

එතුමන්ගේ සේවා කාලය තුළ ඛණ්ඩභාර නිලධාරී උපක්‍රමික පාඨමාලාව, මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික ප්‍රගුණ වෙඩික්කරු පාඨමාලාව, ඒකක ගිණුම්කරණ නිලධාරීන්ගේ පාඨමාලාව, මූලික බුද්ධි පාඨමාලාව, ඒකක පරිපාලන පාඨමාලාව, ඒකක ආරක්‍ෂක පාඨමාලාව, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව, තරුණ සංඥා නිලධාරී පාඨමාලාව - ඉන්දියාව සහ මධ්‍යස්ථ වෘත්තීය පාඨමාලාව - පකිස්ථානය වැනි දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා ඇත.

මේජර් ජෙනරල් ආර්. ඇල්විටිගල යූඑස්පී නවීන තාක්‍ෂණය පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ නවීන ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ තාක්ෂණික පාඨමාලාව සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ උපදේශන ඩිප්ලෝමාව වැනි හමුදාමය නොවන සුදුසුකම් රැසක් ද සපුරා ඇත.