Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th January 2022 00:25:47 Hours

විනයගරුක වෙඩික්කරුවන් ලෙස සොල්දාදුවන් හැඩගැන්වීමේ අවශ්‍යතාවය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කරයි

‘ස්නයිපර්වරුන්ගේ නිවහන’ ලෙසින් ප්‍රචලිත දියතලාව ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසල වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ හි සම්මාන ප්‍රදානෝත්සවය සෙනසුරාදා (29) දින පස්වරුවේ පැවැත්විණි.

ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක සහ යුද්ධ හමුදා සුලු අවි සංගමයේ සභාපති බ්‍රිගේඩියර් විපුල ඉහලගේ ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය.

යුද්ධ හමුදා ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ ට සමාගාමීව සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලිය විවෘත, සේවා රෙජිමේන්තු සහ ආධුනික ලෙස කාණ්ඩ තුනක් යටතේ පැවැත්විණි.

මෙම තරඟාවලියේදී, සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් තරඟකරුවන් 340 කට අධික සංඛ්‍යාවක් තරඟවැදුනු අතර විවෘත කාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට ගජබා රෙජිමේන්තු වෙඩික්කරුවන් සමත් වූහ. එමෙන්ම, විවෘත කාණ්ඩයේ 2 වන ස්ථානය ගැමුණු හේවා බලකා කණ්ඩායම සහ 3 වන ස්ථානය කමාන්ඩෝ රෙජිමේන්තු වෙඩික්කරුවන් විසින් හිමිකරගත්හ.

මේ අතර, සේවා රෙජිමේන්තු කාණ්ඩයේ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකායේ වෙඩික්කරුවන් විසින් දිනාගත් අතර එම කාණ්ඩයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා වෙඩික්කරුවන් විසින් හිමිකරගත්හ. එමෙන්ම, ආධුනික කාණ්ඩයේ ශූරතාව දිනාගැනීම සඳහා ගැමුණු හේවා බලකායේ වෙඩික්කරුවන් සමත් වූ අතර අනුශූරතාව ගජබා රෙජිමේන්තුවටත් තෙවන ස්ථානය කමාන්ඩෝ රෙජිමේන්තු වෙඩික්කරුවන්ටත් හිමිවූහ.

මෙම උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සමඟින් ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් විපුල ඉහලගේ විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා මෙම අවස්ථාව සඳහා උණුසුම් අයුරින් පිළිගත්හ.

ඉන් අනතුරුව, මෙම තරඟකාරී රෙජිමේන්තු කණ්ඩායම්හී වෙඩික්කරුවන්ගේ සංග්‍රාමික වෙඩි තැබීමේ කුසලතා නැරඹීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එක්විය.

මෙම සම්මාන ප්‍රධානෝත්සවයේ පිළිගැනීමේ කථාව සිදුකරමින් ප්‍රගුණ වෙඩික්කරු පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් විපුල ඉහලගේ මෙදින වැදගත්කම සහ තරඟාවලිය සංවිධානය කිරීම සබැඳිව සහභාගී වූවන් දැනුවත් කළේය.

ඉන් අනතුරුව, ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ ජයග්‍රාහකයින් සහ සහභාගී වූවන් වෙනුවෙන් කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීම සිදුකෙරිණි. ජයග්‍රාහකයින් වෙත සිය සුභපැතුම් පිරිනමමින් ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ප්‍රථමයෙන් ත්‍යාග ප්‍රදානය කිරීම සඳහා එක්වූ අතර ඉන් අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කිරීම සඳහා එක්වූහ.

මෙම තරඟාවලියේ විවෘත කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.ඒ.අයි.පී ජයලත් ජයග්‍රහණය හිමිකරගත්තේය. එමෙන්ම, සේවා රෙජිමේන්තු කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කපිතන් පී.ඒ.ඩී.යූ.එල් ආරච්චිගේ මෙන්ම ආධුනික කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරු ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජේ.සී.එන් වීරසිංහ සම්මාන දිනාගත්හ. විවෘත කාණ්ඩයේ සමස්ථ ශූරතාවය ගජබා රෙජිමේන්තු වෙඩික්කරුවන් විසින් දිනාගත්හ.

එමෙන්ම, මෙම තරඟාවලියේ බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරල් කාණ්ඩය යටතේ තරඟවැදී මේජර් ජෙනරල් මහේෂ් අබේරත්න, මේජර් ජෙනරල් සමන්ත සිල්වා, බ්‍රිගේඩියර් ජී.ජී.ඒ. ගුණසේකර සහ බ්‍රිගේඩියර් ඒ.සී.ඒ. සිල්වා කුසලාන සහ සහතිකපත් දිනාගත්හ.

මේ අතර, බ්‍රිගේඩියර් සහ මේජර් ජෙනරල් කාණ්ඩයේ දක්‍ෂතම වෙඩික්කරුවන් ලෙස බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.එම් ජයමහ, බ්‍රිගේඩියර් ඩී.පී වෙලගෙදර සහ බ්‍රිගේඩියර් ආර්.පී මුනිපුර සම්මාන සහ සහතිකපත්‍ දිනාගත්හ.

යුද්ධ හමුදා සොල්දාදුවෙක් සතුවිය යුතු ගුණාංග පිළිබඳ පැහැදිලි කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විනයගරුක සොල්දාදුවෙකු ලෙස නිරන්තර කැපවීමෙන් හා විශ්වාසවන්තභාවය ආරක්‍ෂා කරමින් ඕනෑම සටන් පෙරමුණක නිර්භීතව ක්‍රියාත්මක වීමට ඇති හැකියාව පිළිබඳ සිය අදහස් දැක්වූවේය.

“ඕනෑම අභියෝගාත්මක අවස්ථාවක ඕනෑම ආකාරයක අභියෝගයකට මුහුණදිය හැකි ප්‍රබලම ශ්‍රම බලකාය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබලෙකු තමා සතු අවියෙන් යුදවැදීමට මනා පුහුණුවක් ලැබිය යුතුය. ඒ අනුව, සජීවී වෙඩිතැබීමේ පුහුණු අභ්‍යාස නොකඩවා පැවැත්විය යුතු අතර සෙබලෙකුගේ වෘත්තීය ජීවිතය තුල ප්‍රමුඛත්වය දුන් ආරක්‍ෂක කටයුතුවලට අනුරූප වන පරිදි ස්වයං විනය සහ කැපවීම ද තවදුරටත් ඒ තුලින් වැඩිදියුණු කෙරෙණු ඇති බව” එතුමන් පෙන්වා දුන්නේය.

මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් යුද්ධ හමුදා සුලු අවි සංගමයේ ලේකම් මේජර් ඒ. රණසිංහ විසින් ස්තූති කතාව ඉදිරිපත් කරන ලදී.

මෙම උත්සවය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් විකුම් ලියනගේ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් චන්න වීරසූරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු එක්වූහ.

මෙම තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන් අවසන් වටයේ තරඟවැදීමට ප්‍රථම කිලෝ මීටර් 9 ක් දිවීම, මීටර් 300 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම්, මීටර් 200 ක පරාසයක් තුළ වාර 20 ක් වෙඩි තැබීම්, මීටර් 100 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම් සහ මීටර් 50 ක පරාසයක් තුළ වාර 10 ක් වෙඩි තැබීම යන ඉසව් සඳහා සහභාගී වී තරඟවැදුනි.

වෙඩි තැබීමේ කුසලතාවයන්, බළඇණිවල සියලු නිලයන් අතර සහෝදරත්වය වැඩිදියුණු කිරීම සහ යුද්ධ හමුදා සුලු අවි සංගමය හරහා දේශීය හා ජාත්‍යන්තර තරඟ සඳහා සුදුසුකම් සහිත දක්‍ෂ වෙඩික්කරුවන් තෝරාගැනීම අරමුණු කරගනිමින් ‘අන්තර් රෙජිමේන්තු සංග්‍රාමික වෙඩි තැබීමේ තරඟාවලිය - 2021’ පවත්වන ලදී.