Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th March 2022 21:51:26 Hours

වසර 22 ක සේවා කාලයක් සම්පූර්ණ කල ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ සේවා කාලය දීර්ඝ කිරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැත

(මාධ්‍ය නිවේදනය)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබල සේවා නියෝගවල සම්මත සම්ප්‍රදායන්ට අනුව සියලුම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් විශ්‍රාම වැටුපට හිමිකම් ලැබීමට වසර 22 ක අනිවාර්ය සේවා කාලයක් සම්පුර්ණ කල යුතුය.

එසේ වුවද, වසර 22 සම්පුර්ණ කරන ලද එම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගෙන් ‘තාක්ෂණික සුදුසුකම් ඇති වෘත්තිකයින්’ සුළු පිරිසක් පමණක් රෙජිමේන්තු අධිපතිගේ නිර්දේශ මත වසරින් වසර එලෙස සේවා දිගුවන් ඉල්ලුම් කරනු ලබති.

1950 මාර්තු මස 17 වනදින ප්‍රකාශිත ගැසට් අංක 10085 අනුව යුද්ධ හමුදාවේ බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය 1994 අංක 01 දරණ සෙබල සේවා නියෝග සංශෝධනයෙන් පසුව ව්‍යුහගත වී ක්‍රියාත්මකය. මේ අනුව, පළමු වසර 5 සම්පුර්ණ කරන ලද සෙබළුන් හට ඉදිරි වසර 7 ක් සඳහා සේවා දිගුවක් (වසර 12 දක්වා) ලැබෙන අතර, එම වසර 12 සැපිරිමේදී නැවත වසර 10 ක් සඳහා නැවත බැඳීමක් (Re-Engagement) ඔවුන්ගේ අභිමතය පරිදි ලබාගත හැක.

වසර 22 ක ගණනීය සේවා කාලයක් සම්පුර්ණ කල පසු සෙබලෙකු විශ්‍රාම වැටුප සඳහා හිමිකම් සපුරන අතර එකී ‘තාක්‍ෂණික සුදුසුකම් සහිත වෘත්තිකයින්’ ලෙස විශේෂ දැනුමකින් පරිපුර්ණ වු අයවළුන් හට ඔවුන්ගේ අභිමතය පරිදි තවත් ඉදිරි වසර 10 ක් සඳහා සිය රෙජිමේන්තු අධිපතිගේ නිර්දේශ මත ඉහත දැක්වු අයුරින් සේවා දිගු ලබාදීමට යුද්ධ හමුදාධිපතිතුමන්ට බලය පැවරි ඇත.

එලෙස ඔවුන්ගේ සේවා කාලය අවුරුදු 32 හෝ වයස අවුරුදු 55 යන දෙකෙන් එළඹෙන පළමු අවස්ථාව වන තුරු ඔහුගේ එම තාක්‍ෂණික හැකියාවන් සලකා හමුදා සේවයේ තබාගැනීමට සෙබල සේවා නියෝග විධිවිධාන ප්‍රකාරව අවස්ථාව සැලසී ඇත.

එසේ වුවද, මෙම ‘තාක්‍ෂණික සුදුසුකම් ලත් වෘත්තිකයින්’ ලෙස වර්ගිකරණයට ඇතුළු නොවන, උදාහරණ ලෙස හමුදා සේවය හරහා එතෙරදී විශේෂඥ දැනුම ලබාගත් අයවළුන්, සරඹ/ක්‍රීඩා උපදේශකවරු, වෙඩිතැබීම්, සංග්‍රාමික දක්‍ෂතා, භාෂා හැකියාවන්, යුදබිමේ පලපුරුද්ද, කලා කුසලතා, ආරක්‍ෂක සටන් ක්‍රම ආදීය ප්‍රගුණ කල විශේෂ සුදුසුකම් සහිත විශාල පිරිසක් සේවා දිගු ලබාගැනිමකින් තොරව තම වසර 22 ක සේවා කාලයෙන් පසු විශ්‍රාම ගැනීම සිදුවේ.

මෙවැනි හැකියාවන් හා දක්‍ෂතාවයන් ඇති අයවළුන්හටද ඔවුන්ගේ ඉල්ලීමට හා කැමැත්ත මත සේවය කිරීමට අවස්ථාව ලබාදීම උදෙසා ශාරීරික යෝග්‍යතාවයන් හා සෙබල සේවා නියෝග සහ විධිවිධානවලට යටත්ව මෙලෙස තවත් වසර තුනක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශයන් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරි මඩුල්ලකින් සැදුම්ලත් මණ්ඩලයක් විසින් සාකච්ඡාවට ගනු ලැබිණි.

අනෙකුත් ක්ෂේත්‍රවල තාක්‍ෂණික හැකියාවන් හා බහුවිධ දක්‍ෂතා හා විශේෂඥ දැනුම ඔවුන්ට තිබුණද වසර 22 න් පසුව ඔවුන් විශ්‍රාමගැනීමත්, ඔවුනට පසුව හමුදාවට එක්වු අයවළුන්හට එම වරප්‍රසාදය ලැබීමත් හේතුවෙන් යටකී දක්‍ෂතා ඇති ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ එම පවුල්වල සාමාජිකයින් හා දරු දැරියන් දිගින් දිගටම යුද්ධ හමුදාධිපතිතුමා වෙත මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කර අවධානයට යොමුකර තිබිණි. විශේෂයෙන්ම, විශ්‍රාම වැටුප හිමිගැන්වීමෙන් පසුව ඔවුන්ගේ පවුල්වල ආර්ථික හා සමාජීය තත්ත්වයට සිදුවන බලපෑමද මෙහිදි අවධාරණය කර තිබිණි.

එම සාකච්ඡාවලදී වසර 22 ක ගණනීය සේවා කාලය සම්පුර්ණ කල පසු සියලු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් සහ අනෙකුත් සෙබළුන් හට සිය කැමැත්ත ඇත්නම් පමණක් සිය වෘත්තීය ඵලදායිතාවය තමන්ගේ රෙජිමේන්තු අධිපතිගේ නිර්දේශය මත තවදුරටත් වසර 25 ක් දක්වා එනම් තවත් ඉදිරි වසර 3 ක් සඳහා ලබාදීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

මෙම නිර්දේශ අනුව අකැමැත්තෙන් කිසිම සෙබලෙකු රඳවා ගැනිමක් සිදු නොවන අතර එය අනිවාර්ය සේවා දීර්ඝ කිරිමක් ද නොවේ. අදාල පාර්ශවයන්ගේ එම යෝජනා සානුකම්පිතව සලකා බලා යහපත් චේතනාවෙන් නිර්දේශීත වරප්‍රසාදයක් පමණි.

එහෙයින්, මෙකී නිර්දේශය සියලුම ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් හට සමානාත්මක සේවා දිගුවක් ලබාදීමේ අරමුණින් හා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ සානුකම්පිත ඉල්ලීම් හා ආයාචනා මත යුද්ධ හමුදාවේ උන්නතිය උදෙසා කල නිර්දේශයක් මිස, විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීමේ ප්‍රයත්නයක් නොවේ. (නිමාව)