Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2023 21:05:31 Hours

වර්මතමාන යුද්ධ හමුදාධිපතිතුමන් ධූරයටපත්වී වර්ෂ පූර්ණය සිහිකරමින් ආගමික ආශිර්වාද

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිවෘද්ධියට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙමින් යුද්ධ හමුදාවට නායකත්වය ලබාදෙන වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාධිපති ධූරයට පත් වී 2023 ජූනි මස 01 දිනට වසරක් සම්පූර්ණ කරයි. එම කාලය තුල එතුමන්ගේ මූලිකත්වයෙන් සිදුකරනු ලැබූ ජාතිය ගොඩනැගීමේ සහ සිවිල් ජනතාව වෙනුවෙන් ඉලක්ක කරගත් ප්‍රජා මූලික ව්‍යාපෘති, සෙබලුන්ගේ සුභසාධන කටයුතු සඳහා ඇති ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීම, මානව සම්පත් සහ මූල්‍ය කළමනාකරණ ක්‍රමෝපායන් හඳුන්වා දීම, යුද්ධ හමුදාව ප්‍රතිව්‍යුහගත කිරීම යනාදී අංශ රැසක විශාල සාර්ථකත්වයක් ලබා දී ඇත. මීට අමතරව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ දේශීය කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවීම, ආපදා සහ හදිසි කළමනාකරණය කටයුතු සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සක්‍රීය දායකත්වය ඉහල නැංවීමද දැක්විය හැකිය. තවද, වැඩි දියුණු කරන ලද පරිගණක මෘදුකාංග යෙදවුම් හඳුන්වා දීමෙන් යුද්ධ හමුදාවේ තාක්‍ෂණික දියුණුව සඳහා පියවර ගෙන ඇති අතර, එමඟින් යුද්ධ හමුදාව සතු සම්පත් රටේ ආර්ථික දියුණුව සඳහාද යෙදවීමට හැකි වී ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ වසරක යුද්ධ හමුදාධිපති පදවිය වෙනුවෙන් ආශිර්වාද එක්කිරීමේ ආගමික වැඩසටහනක් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (1) දින උදෑසන පැවැත්වීය. එහිදී කෝට්ටේ රජ මහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මෙම අවස්ථාවේ වැදගත්කම පෙන්වා දෙමින් කෙටි ‘අනුශාසනාවක්’ සිදුකරමින් ‘සෙත් පිරිත්’ සජ්ඣායනා සිදුකොට ආශිර්වාද එක්කරන ලදී. පසුව එම භික්ෂූන් වහන්සේලා වෙත ‘ගිලන්පස’ සහ ‘පිරිකර’ පිරිනැමීමෙන් පසුව උත්සවයේ ආගමික වැඩසටහන් අවසන් විය.

මෙම අවස්ථාවට තවත් වටිනාකමක් එක් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජානකී ලියනගේ මහත්මිය විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන ගැබිණි කාන්තා සෙබලියන් වෙත පෝෂණ ආහාර සලාක පාර්සල් 35 ක්ද බෙදා දෙන ලදී. අනතුරුව ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් මත සංවිධානය කරන ලද දිවා භෝජන සංග්‍රහයක් ඔවුන් වෙත පිළිගන්වනු ලැබීය. භෝජන සංග්‍රහය අතරතුර යුද්ධ හමුදාපතිතුමන් එම කාන්තා සෙබලියන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගත්තේය.

උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.