Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th November 2020 17:07:31 Hours

යුද්ධ හමුදාවේ කාර්යභාරය පුළුල් කරමින් නව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපිත කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ කාර්යභාරය තවදුරටත් පහසුකරමින් මත්තේගොඩදී නව ඉංජිනේරු සේනාංකයක් ස්ථාපිත කිරීම සහ එහි නව මුලස්ථාන ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (18) දින සිදු කෙරිණි.

එහි ප්‍රධාන ආරාධිතයා වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය. අනතුරුව, මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

එහිදී, ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති, හදිසි ආපදා කළමනාකරණය, සිවිල්-හමුදා සම්බන්ධිකරණ කටයුතු ඇතුළු ඉංජිනේරු භටපිරිස් විසින් සිදුකරනු ලබන සියලු කාර්යභාරයන් පහසු කිරීමේ අරමුණින් ඉදිකරනු ලබන නව සේනාංක මුලස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මුල්ගල තැබීය. පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නව ඉංජිනේරු සේනාංකයේ ආරම්භය නිල වශයෙන් සංකේතවත් කරමින් එහි නගාසිටුවීමේ නියෝගයට අත්සන් තැබු අතර සඳහා තැබු අතර මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පෙතෙහිද සමරු සටහනක් තැබීය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ලද බැඩ්මින්ටන් ක්‍රීඩා පිටිය සහ අංගසම්පුර්ණ කායවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම සනිටුහන් කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදා රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණය සහ බෝම්බ නිශ්ක්‍රිය කිරීමේ අංශය විසින් ඉදිරිපත් කරන ලද රසායනික තර්ජනවලට එරෙහි මෙහෙයුම් සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රිය කිරීමේ නිදර්ශනය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිල වශයෙන් නගා සිටුවීම සනිටුහන් කරන ලද ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් මේජර් ජෙනරාල් චන්දන විජේසුන්දර පත් කොට ඇති අතර මෙම සේනාංකය 2020 ඔක්තෝබර් මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද්ධ හමුදාධිපතිතුමන් විසින් අනුමැතිය ලබාදී ඇත. බලසේනාවන් තුනකින් සමන්විත නව සේනාංකය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අණදීම යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු කාර්යාලය වෙතින් පාලනය වේ.

මෙම සමාරම්භක අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් සිදු කළ සිය භටපිරිස් ඇමතීම අතරතුර මෙවන් නව සේනාංකයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම පැහැදිලි කළ අතරම ඉංජිනේරු බලකායේ දැවැන්ත හා කැපිපෙනෙන දායකත්වය හේතුවෙන් රටට විශාල විදේශ විනිමයක් ඉතිරි කරගැනීමට හැකිවී ඇති බවද එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් කීය. වැඩදුරටත් අදහස් දැක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් මෙසේ ද පැවසීය. “අපේ මුදල් විදේශයන්ට ඇදීයාම වළක්වා ඒ මුදල් අප රට තුළම ඉතිරි කරගැනීම වෙනුවෙන් අවශ්‍ය සැලසුම් අප විසින් සකස් කළ යුතුයි. විශේෂයෙන්ම ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයන් හිදී අප වෙත අතිගරු ජනාධිපතිතුමා විසින් ලබාදෙන උපදෙස් හා මඟපෙන්වීම් අනුව අපේ රට වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර තිබෙනවා. එසේම, තවත් සුවිශාල වැඩකොටසක් ඉටුකිරීමට අප වෙත පැවරි තිබෙනවා. උසස් ප්‍රමිතියකින් යුතුව, අවම වියදමකින් අප විසින් පිදුරුතලාගල මාර්ගය, බුත්තල- කතරගම මාර්ගය, ගිංඟග හරහා නෙළුවේදී ඉදිකර ඇති ලී පාලම, බෝවතැන්න වැව්බැම්ම ආදිය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. එසේම, ක්‍රීඩාංගණ, ක්‍රීඩාගාර, පාසැල්, ප්‍රජා මධ්‍යස්ථාන, වැව් ආදි බොහෝ ව්‍යාපෘති අප විසින් ගොඩනැගීම අඩම්බර විය හැකි කරුණක්” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

මෙම උත්සවය අවසානයේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් පිරිනැමීය.

මෙම සමාරම්භක උත්සවය සඳහා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් දුමින්ද සිරිනාග, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ධම්මික ජයසිංහ, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චූලා අබේනායක, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. buy footwear | nike