Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2017 07:23:55 Hours

යුද්ධ හමුදාධිපතිවරයා යාපනය භට පිරිස් ඇමතීම සහ ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා පරිත්‍යාග වැඩසටහනකට එක්වේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සිය ආරක්ෂක සේනා මුලස්ථාන සංචාරයන් ආරම්භ කරමින් එහි පළමු සංචාරය ලෙස සෙනසුරාදා (29) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් උණුසම් අයුරින් පිළිගත් අතර, අනතුරුව යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් පිරිනමනු ලැබීය.

එහිදි යුද්ධ හමුදාධිපතිතුමා, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ ආරාධනයෙන් යාපනය අර්ධද්විපයේ යුද්ධ හමුදා සාමාජිකයින් 2000 කට අධික පිරිසක් ඇමතීම ද සිදු කරනු ලැබු අතර, මෙම සංචාරය සිහිවනු වස් එතුමා විසින් ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ පැලයක් රෝපණය කරනු ලැබීය.

කොනොනි සමාජ ශාලාවේ පැවති තේ පැන් සංග්‍රහය සඳහා එක්වු යුද්ධ හමුදාධිපතිවරයා රැස්ව සිටි භට පිරිස් සමඟ සුහද කතාබහක නිරත වු අතර, විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීමට ද අමතක නොකළහ.

අනතුරුව, යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරායා විසින් යුද්ධ හමුදාධිපතිවරයා වෙත සමරු තිළිණයක් ද පිරිනමනු ලැබීය.

එදින වැඩසටහනේ දෙවන අධියර ලෙස යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කළ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති, යාපනය අර්ධද්වීපයේ අ:පො:ස සමාන්‍ය පෙළ විභාගයෙන් උසස් ප්‍රතිථල ලබාගත් පාසල් සිසුන් 193 දෙනෙක් වෙත පාසල් උපකරණ සහ අත් ඔරලෝසු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සඳහා ද ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ගරු. රේජිනෝල්ඩ් කුරේ මැතිතුමා සහභාගි විය.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු සියලුම සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් , අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසු නිලයින් මෙන්ම රජයේ නිලධාරින්, දෙමාපියන් සහ ශීෂ්‍ය ශීෂ්‍යාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Mysneakers | Nike Shoes