Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th January 2023 11:22:54 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ට මාතලේ විජය විද්‍යාලයේ ගෞරවාචාරය

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත සිය පාසල් අධ්‍යාපනය තුළ නොමැකෙන පාසල් දින මතකයන් සහ සන්ධිස්ථානයන් හැර දක්වමින් මාතලේ විජය විද්‍යාලය වෙතින් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින එම විද්‍යාල පරිශ්‍රයේදී 24 වැනි යුද්ධ හමුදාධිපති ධූරයේ වැඩ භාරගත් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත උපහාර පුදකිරීමේ උත්සවයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත මාතලේ විජය විද්‍යාලීය ශිෂ්‍යභට ඛණ්ඩායම විසින් විචිත්‍රවත් ගෞරව සම්මාන මුරයක් පිරිනමනු ලැබු අතර, එහිදී විදුහල්පති රජිත තීක්‍ෂණ මහතා, ගුරුභවතුන් සහ ආදි ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් විසින් එතුමන් මහත් හරසරින් පිළිගන්නා ලදී.

පසුව එම විද්‍යාල පරිශ්‍රයේ පිහිටි බුදු මැදුර වෙත මල් වට්ටියක් පූජා කර වර්ෂ 1886 ඉදිකරන ලද දිස්ත්‍රික්කයේ පැරණිතම බෞද්ධ විද්‍යාලයේ නිර්මාතෘ සහ බෞද්ධ පුනරුදවාදියෙකු ලෙස ප්‍රසිද්ධ ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ පිළිරුව වෙත උපහාර දැක්වීමටද යුද්ධ හමුදාධිපතිතුමන් කටයුතු කළේය.

මෙහිදී රට වෙනුවෙන් දිවිපිදු විද්‍යාලයේ අධ්‍යපනය හැදෑරූ වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් හිටපු විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සියලුම විජය සිසු සිසුවියන් සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලය විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා, විද්‍යාලීය ගීතය ගායනා කිරීමට පෙර සම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා සංස්කෘතික හා සෞන්දර්යාත්මක අංගයන්ගෙන් වර්ණවත් වූ එදින උත්සව කටයුතු ආරම්භ කරන ලදී.

ක්‍රියාශීලී ක්‍රීඩකයෙකු ලෙස ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මෙම බෞද්ධ විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය ලබන සමයේ ශිෂ්‍යභට ඛණ්ඩයේ සාමාජිකයෙකු වූ අතර ඊට සමගාමීව විද්‍යාලීය බාලදක්‍ෂ කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායකයෙකු ලෙස ද කටයුතු කළේය.

විදුහල්පති රජිත තීක්ෂණ මහතා පිළිගැනීමේ දේශනය සිදුකරමින් උපහාර උළෙලේ අරමුණ සහ විජය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ලෙස ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීම සහ ඒ සඳහා හේතු පාදක වූ කරුණු පිළිබඳ පැහැදිලි කළේය. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, අයි.ආර්.ඩබ්ලිව්.කේ ජයසූරිය මහත්මිය උත්සව සභාව අමතමින් විද්‍යාලය තුළ පෝෂණය වූ රට ආරක්‍ෂා කිරීමට කැප වූ අමිල දේශප්‍රේමීන් සිහිපත් කළාය. එදින ප්‍රධාන ආරාධිත අමුත්තාගේ දේශනයට ප්‍රථම ආදි ශිෂ්‍ය සංගමයේ විශ්‍රාමික ගුරුවරියක්, සහ ආදි ශිෂ්‍යයකුද මෙහිදී අදහස් දැක්වූහ.

“අප්පමන්තෝ නමයන්ති” (පමා නොවන අය කිසිදා නොමියෙන්නේය) යන ගෞරවනීය ආදර්ශ පාඨය සමඟින් යුද්ධ හමුදාධිපතිතුමන් සිය දේශනය ආරම්භ කළේය. එහිදි එතුමන් තම විද්‍යාලයේ ගත කළ කාලය පිළිබඳ අතීත මතකයන් සහ තරුණ පරම්පරාවට සර්ව සම්පූර්ණ අධ්‍යාපනයක් ලබාදීම සඳහා විද්‍යාලයෙන් ඉටුවූ විශිෂ්ඨ සේවාව ඇගයීමට ලක් කළේය. රට තුළ සාමකාමී යුගයක් උදාකිරීම සඳහා රට වෙනුවෙන් දිවිපිදූ මාතලේ විජය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ වීරෝදාර රණ විරුවන්ගේ සේවය සහ කැපකිරීම් වෙනුවෙන් සිය කෘතඥතාවය ද පළ කළේය.

තමා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ තම සිසුන්ට නිසි අධ්‍යාපනයක් ලබගැනීම සඳහා දිරි ගන්වමින් වෙහෙස මහන්සි වූ ගුරුවරුන්ගේ සේවය මෙන්ම අමතර සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් ද සිහිපත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ එවැනි සම්පූර්ණ අධ්‍යාපනයක් තුළින් සිසුන්ට අභියෝගවලට විශ්වාසයෙන් යුතුව මුහුණ දීම තුලින් ඔවුන්ගේ ජීවිතයේ සෑම අංශයකම සාර්ථක කරගැනීමට හැකිවූ බවයි. තවද, කැපවීමෙන් හා පක්‍ෂපාතීව ජාතියට සේවය කරන ලෙස විද්‍යාලයේ සිසුන්ගෙන් ඉල්ලා සිටි එතුමන් තම විද්‍යාලීය සමයේදී තමන් ගොඩනැගූ විශිෂ්ට නායකත්ව ගුණාංග පිළිබඳවද සිහිපත් කළේය.

එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් පාසලේ අභිවෘද්ධිය උදෙසා සිසු සිසුවියන්ට ක්‍රීඩා උපකරණ, ශිෂ්‍ය භට ඛණ්ඩයට පාවහන්, පුස්තකාලයට පොත්පත් සහ විද්‍යාලයීය අරමුදලට මූල්‍යමය දායකත්වයක් ලබාදෙන ලදී. තවද, යුද්ධ හමුදාධිපතිතුමන් එම පාසල් පරිශ්‍රයේදී සිසු සිසුවියන් හා ගුරුවරුන් සමඟින් තම අතීත පාසල් දිවියේ සොදුරු මතකයන් ආවර්ජනය කරමින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

මේ අතර ශ්‍රී ලංකා බාලදක්‍ෂ සංගමයේ උප සභාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් විද්‍යාලයේ දැනට අක්‍රීයව පවතින බාලදක්‍ෂ කණ්ඩායම යළි ආරම්භ කරන ලෙස විදුහල්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාව සංකේතවත් කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් විසින් බාලදක්‍ෂ ධජය විදුහල්පතිතුමන් වෙත ප්‍රදානය කරන ලදී.

පාසලේ ඉගෙනුම ලබන සිසුන්ගේ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමුකළ යුද්ධ හමුදාධිපතිතුමන් එම පාසලේ එකම පවුලේ අධ්‍යාපනය හදාරන දරුවන් හතර දෙනෙකුගෙන් සමන්විත පවුලක් සඳහා යුද්ධ හමුදාවේ දායකත්වයෙන් නිවසක් ඉදිකර දීමට අවශ්‍ය පියවර ගනු ලැබු අතර, තවද පාසලේ ඉදිකිරීම් සඳහා තාක්‍ෂණික දැනුම සහ සම්පත් දායකත්වය ලබාදීමට ද එකඟතාවය පල කළේය.

උත්සවය අවසානයේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති නවරත්න බණ්ඩා මහතා විසින් ස්තුති කතාව සිදුකරනු ලැබු අතර, එහිදි සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, 11 වන පාබල සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරල් එස්. ආර්.බී අළුවිහාරේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්. ජී. ඩබ්ලිව්. ඩබ්ලිව්. ඩබ්ලිව් එම්. සී. බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මැතිණිය, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, විද්‍යාලයීය ආදි සිසු සිසුවියන්, ගුරුභවතුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.