Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2024 22:31:36 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් රාගම ‘රණවිරු සෙවණ’ සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය රාගම ‘රණවිරු සෙවණ’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් 2024 මාර්තු මස 14 දින එම සුවතා නිකේතනයේ සංචාරයක නිරතවූහ.

සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරයාමේ ගෞරවාචාරය (Drive Pass) පුදකිරීමෙන් අනතුරුව රණක්‍ෂිතයට පත්ව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය එම සුවතා නිකේතනයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වෙමින් නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙත විශේෂ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුදෙනා එම සුවතා නිකේතනයේ ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනක් සඳහා සහභාගී වූ අතර එහිදී, පිළිගැනීමේ කථාව පැවැත්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සියලුම නේවාසික රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය.

මෙම සංචාරයට සමගාමීව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි එම සුවතා නිකේතනයේ පිහිනුම් තටාකය පිරිසිදු කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබීය.

මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින්, රාගම ‘රණවිරු සෙවණ’ සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩී.එම්. කුමාරසිංහ ආර්එස්පී විසින් ස්තූති කථාව පැවැත්වීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ එම සුවතා නිකේතනයේ සේනාවිධායකතුමන් අතර, විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරනු ලැබීය.

සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.