Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2024 11:24:18 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් යාපනය ප්‍රදේශයේ සංචාරයක

තල්සෙවන යුද්ධ හමුදා නිවාඩු නිකේතනයේ නවතම ශාඛාව 2024 මාර්තු මස 28 දින කයිට්ස් ප්‍රදේශයේ පැවති උත්සවයකදී විවෘත කෙරිණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

උත්සව අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළගේ සුරතින් විශේෂ සමරු ඵලකය නිරාවරණය කර නව නිවාඩු නිකේතනය විවෘත කරනු ලැබීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රමුඛ පිරිස එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවූහ.

නව නිවාඩු නිකේතනය තුළ සංචාරකයින් 80 දෙනෙකුට නවාතැන් ගතහැකි නේවාසිකාගාරයක් සහ සංචාරකයින් 32 දෙනෙකුට ආහාරගැනීමේ හැකියාව ඇති ආපනශාලාවකින් සමන්විත වන අතර, එම ප්‍රදේශයේ සංචාරය කරනු ලබන සංචාරකයින්ට ඒ තුළින් අවශ්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාව පවතී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු යාපනය රදගුරු ගරු ජස්ටින් බර්නාඩ් ඥානප්‍රගාසම් පියතුමා බැහැදැක සුහද පිළිසඳරක නිරතවූහ.

අනතුරුව, 52 පාබල සේනාංකයේ සංචාරයක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල මුරය පසුකරගෙන යාමේ ගෞරවාචාරය පුදකළහ.

භටපිරිස් ආමන්ත්‍රණය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් අභියෝගාත්මක කාලයන්හිදී විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළ අතර, යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා දැනට ක්‍රියාත්මක වන සහ නව සුබසාධන වැඩසටහන් පිළිබඳව ද අවධාරණය කළේය. මෙම සංචාරය සමාප්තියේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම සංචාරය සනිටුහන් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය පරිශ්‍රයේ සියඹලා පැළයක් රෝපණය කළේය.

මෙම සංචාරය සඳහා යුද සේවා ලේකම්, 52 සහ 55 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ආඥාපති භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානය - යාපනය, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.