14th January 2022 20:57:26 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ හරිත කෘෂිකාර්මික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (14) දින මධ්‍යහනේ පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ හදිසි සංචාරයක නිරතවිය. එම සංචාරයේදී, එතුමන් කඳවුරු පරිශ්‍රයේ මුලුතැන්ගෙයි පරිශ්‍ර කිහිපයක් සහ කාන්තා සෙබලියන් සඳහා වන භෝජනාගාර කිහිපයක් නිරීක්‍ෂණය කරන ලදී.
පනාගොඩ යුද්ධ හමුදා ජනපදය වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණීම පිළිබඳ දැනුවත් වීමත් සමඟ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු මෙම කඳවුරු සංචාරය සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟින් සම්බන්ධ වූහ.
සිය සංචාරයේ ආරම්භය සනිටුහන් කරමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආහාර පිළියෙළ කිරීම සඳහා භාවිතා කරන උපකරණ පිළිබඳ නිරීක්‍ෂණය කරන ලදී. ඉන් අනතුරුව, සූපවේදීන් සහ සෙසුනිලයන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ආහාර ප්‍රභේදවල ප්‍රමිතිය සහ ආහාර තුළ අඩංගු කැලරි ප්‍රමාණය ආදි කරුණු පිළිබඳ විමසුවේය. පසුව, දිවා ආහාර වේලාවේදී භෝජනාගාරයේ සංචාරයක නිරත වෙමින් යුද්ධ හමුදා කාන්තා සෙබලියන් සමඟ ඔවුන්ගේ ආහාර වේල පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් විමසුවේය.
මෙම සංචාරය අතරතුර, යුද්ධ හමුදාධිපතිතුමන් පනාගොඩ පිහිටි යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් පාලනය කරනු ලබන ගොවිපළ නිෂ්පාදන අලෙවිසැලෙහි ද සංචාරය කළේය.
ඉන් අනතුරුව, එතුමන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදය තුළ ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සෙසුනිල භෝජනාගාරයන්හී සංචාරය කරමින් එම භෝජනාගාර නිරීක්‍ෂණය කළේය.
එහිදී, එතුමන් භෝජනාගාර තුළ සිටි සෙසුනිලයින් සමඟ අදහස් හුවමාරු කරගනිමින් ආහාරවල ගුණාත්මකභාවය සහ ඒ හා සබැඳි කරුණු පිළිබඳව ද විමසුවේය.
යුද්ධ හමුදාධිපතිතුමන් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සිදුකළ සංචාරය සඳහා යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොලඹතන්ත්‍රි ඇතුළු යුද්ධ හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්වූහ.