Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd January 2024 11:45:30 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක

2024 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 02) දින අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රථිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

මෙම නිල සංචාරය සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද සේවා ලේකම් සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වූහ.

‘මිහිදු සෙත් මැදුර’ සුවතා නිකේතන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකුල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවෙකු විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සුවතා නිකේතනය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය, නිලධාරීන් සහ සෙසුනිලයින් සමඟ එක්ව නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙත නව වසරට සුභපැතුම් එක්කරමින් විශේෂ ත්‍යාග පාර්සල් බෙදා දුන්නේය. අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයේදී යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරතවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් එම රණවිරුවන් ආමන්ත්‍රණය කරමින් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නව වසර බලාපොරොත්තු ඉටුවන, සාමය, සතුට සහ සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන ලදී.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් රණවිරුවෙකු විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, එතුමන් කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම, අමුත්තන් සඳහා වූ සමරු සටහන් පොතෙහි සටහනක් තැබීය.