Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2018 14:50:44 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කෙරේ

රත්නපුර, කුරුවිට පිහිටි ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සහ ප්‍රතිසංස්කරණය කරන ලද සෙසුනිල භෝජනාගාරය, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු ගේ ආරාධනයකට අනුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ සුරතින් පීත්ත පටිය කපා බදාදා (21) දින උදෑසන විවෘත කරනු ලැබීය.

ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් හමුදා සම්ප්‍රදායනුකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන සංචාරය සනිටුහන් කරමින් එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් රෝපණය කලහ. අනතුරුව එතුමන් උඩරට වෙස් නැටුම්කරුවන්ගෙන් සමන්විත වර්ණවත් පෙරහැරකින් නව ගොඩනැගිල්ල විවෘත කරන ස්ථානය වෙත කැටුව යන ලදි.

තවද යුද්ධ හමුදාධිපතිතුමන්, ගැමුණු හේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ජයම්පති තිලකරත්න සමගින් ගැමුණු හේවා රෙජිමේන්තුවේ දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපාහර පුද කළහ.

සියලුනිල තේ පැන් සංග්‍රහයකට එක්වූ යුද්ධ හමුදාධිපතිතුමන් නිලධාරින් සහ සෙසුනිලයින් සමඟ අදහස් හුවමාරු කරගැනීමට අමතක නොකළහ. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී භට පිරිස් ඇමතුහ. එහිදි ගැමුණු හේවා රෙජිමේන්තුව මෙහෙයුම් කටයුතුවලදි මෙන්ම ක්‍රීඩාවේදි දැක්වූ දක්ෂතාවයන් ඇගයුමට ලක් කළහ.

මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ශ්‍රමදායකත්වය සැපයු සියලු නිලයින් අගයමින් විශේෂ සහතික පත්‍රයක් ද මෙහිදි ප්‍රදානය කල අතර උත්සවය අවසානයේ ගැමුණු හේවා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු, යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය කෘතඥතාව පිරිනමමින් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පරිනැමුහ.

කුරුවිට, ගැමුණු හේවා රෙජිමේන්තු මූලස්ථානයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් එම රෙජිමේන්තුවේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද සමරු සටහනක් තැබීය.

Asics footwear | Air Jordan