Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th December 2023 18:50:38 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්, ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී හමුවෙයි

ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් පාණ්ඩේ පීවීඑස්එම් ඒවීඑස්එම් වීඑස්එම් ඒඩීසී (General Manoj Pande PVSM AVSM VSM ADC) ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පසුගිය ඉරිදා (දෙසැම්බර් මස 03) දින ඉන්දියාවේ, නවදිල්ලි ප්‍රදේශයේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

නවදිල්ලියේ පිහිටි ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් ජාතික රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව, ඉන්දීය යුද්ධ හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඉන්දීය යුද්ධ හමුදා මූලස්ථානයේදී ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී සමඟින් සුහද සාකච්ඡාවක නිරතවිය.

මෙම සාකච්ඡාව අතරතුරදී, ද්විපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව, පුහුණු පාඨමාලාවන් වැඩිදියුණු කිරීම, දෙරටේ ත්‍රිවිධ හමුදාවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. සාකච්ඡාව සමාප්තියේ සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

දෙරටේ හමුදාවන් හා ජාතීන් අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, මිත්‍රත්වය වැඩිදියුණු කිරීම සහ ද්විපාර්ශ්වික ආරක්‍ෂක කටයුතු වැඩිදියුණු කරමින් ආරක්‍ෂක සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් මෙම නිල සංචාරය සිදුකරනු ලැබීය.

මෙම නිල සංචාරය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහ යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ද සහභාගී වූහ.

සංචාරයට සමගාමීව ජානකී ලියනගේ මහත්මිය, ඉන්දීය යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුභසාධක සංගමයේ සභාපතිනි සහ මධ්‍යම යුද්ධ හමුදා භාර්යාවන්ගේ සුබසාධන සංගමයේ සාමාජිකාවන් සමඟින් නිල වැඩසටහන් සඳහා සහභාගී වූවාය.