Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th December 2022 18:42:39 Hours

යුද්ධ හමුදාධිපති පාපන්දු කුසලාන තරඟාවලිය සම ශූරයන් බිහිකරමින් අවසන් වෙයි

යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වවුනියාව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාපන්දු කණ්ඩායම් 25 ක සහභාගිත්වයෙන් පැවති උතුරු පළාත් යුද්ධ හමුදාධිපති පාපන්දු කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සඳුදා (28) දින කිලිනොච්චිය උතුරු පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවති අතර එහිදී, ‘ශාන්ත මරියා - කිලිනොච්චිය’ කණ්ඩායම සහ ‘උරිතිපුරම් - කිලිනොච්චිය’ කණ්ඩායම ශූරතාවය වෙනුවෙන් තරඟවැදුනි.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දිමාල් පීරිස් ගේ සංකල්පයකට අනුව සුහදත්වය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ කරනු ලැබූ මෙම තරඟාවලිය සඳහා 572 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් තුෂාන් විමලසේන ගේ සක්‍රීය සහයෝගය ද හිමිවිය.

දශක 3 කට පසුව කිලිනොච්චි ප්‍රදේශයේ පැවති මෙම දැවැන්ත ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීෂ්වරන් මහතා සහභාගී වූහ. එම බලප්‍රදේශයේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් මෙන්ම පාපන්දු ක්‍රීඩාලෝලීන් සහ තවත් ප්‍රේක්‍ෂකයින් රැසක් අවසන් මහා තරඟය නැරඹීම සඳහා එක්ව සිටියහ.

තියුණු තරඟයකින් අනතුරුව ගෝල 1ට 1ක් වශයෙන් මෙම පාපන්දු තරඟය සම සමව අවසන් වීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකටම කුසලාන සහ පදක්කම් සමඟින් රුපියල් 150,000.00 බැගින් මූල්‍ය ත්‍යාගයන් ද ප්‍රදානය කරනු ලැබීය. එමෙන්ම, තරඟාවලියේ විනිසුරුවරුන් 4 දෙනා වෙත සමරු තිළිණයන් ද ප්‍රදානය කරන ලදී. තරගාවලියේ දක්‍ෂතා දැක්වූ පහත නම් සඳහන් ක්‍රීඩකයන් වෙත සිය දක්‍ෂතාවයන් මත සහතික හා කුසලාන හිමි විය.

දක්‍ෂතම ක්‍රීඩකයා - ටී. ප්‍රදීපන් (උරිතිපුරම් - කිලිනොච්චිය)

දක්‍ෂතම ගෝල රකින්නා - ටී. ගෝකුලරාජ් (උරිතිපුරම් - කිලිනොච්චිය)