Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th June 2022 12:28:57 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය රාජකාරි අරඹයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 16 වන සභාපතිනිය ලෙස ජානකී ලියනගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි සිය කාර්යාලයේදී සිකුරාදා (3) දින ආගමික වතාවත් හා සුබපැතුම් මධ්‍යයේ රාජකාරි ආරම්භ කරන ලදී.  

මෙම අවස්ථාවට සහභාගී වූ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සාම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමේ අවස්ථාවට ද එක්විය. එහිදී, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය වෙත නව ධූරයේ රාජකාරි භාරගැනීම වෙන්වෙන් මල් කළඹක් පිළිගන්වමින් සුබපැතුම් පිරිනැමුවේය.

කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපති වතුරවිල ශ්‍රී සුජාත හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ජානකී ලියනගේ මහත්මිය නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.  

මෙම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය එම ඒකකයේ උප සභාපතිනිය සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ශිරෝමලා කොඩිතුවක්කු මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, ජානකී ලියනගේ මහත්මිය විසින් දේශනයක් සිදුකරමින් සිය ඉදිරි කාර්යභාරයන් වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටියාය.  

මෙම අවස්ථාව සඳහා එක්වූ සියලුම සේවා වනිතා සභාපතිනියන් ජානකී ලියනගේ මහත්මිය සමඟින් සමූහ ඡායාරූපයකට එක්වීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.  

ජානකි ලියනගේ මහත්මිය පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ;  

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 24 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ රාජකාරි භාරගැනීමෙන් පසු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 16 වන සභාපතිනිය ලෙස ජානකී ලියනගේ මහත්මිය වර්ෂ 2022 ජුනි මස 03 දින රාජකාරි භාරගන්නා ලදී.

ජානකී ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙසද කටයුතු කරයි. යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස රාජකාරි භාරගැනීමට පෙර එතුමිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනිය ලෙස ද කටයුතු කළාය.  

ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදෑරූ මාතලේ පිහිටි රජයේ විද්‍යා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ජානකී ලියනගේ මහත්මිය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උපාධිදාරිනියක් වේ.  

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන් රණවිරුවන්, ආබාධිත රණවිරුවන් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරින් හා සෙසුනිලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට ද එතුමිය කැපවීමෙන් කටයුතු කරන ලදී. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යටතේ ස්ථාපිතව ඇති සියලුම සේවා වනිතා ඒකකයන්හී සාමාජිකාවන් ඒකරාශී කරගනිමින් පොදු අරමුණු සහ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරමින් සේවා වනිතා භූමිකාවේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීමට ද එතුමිය සක්‍රීයව දායක වූවාය.  

එමෙන්ම, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්, භාර්යාවන් හා ස්වාමී පුර්ෂයින් වෙනුවෙන් උපදේශන සැසි දියත් කරමින් ඔවුන්ගේ දුක්ගැනවිලි සහ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබාදීමට ද ජානකී ලියනගේ මහත්මිය කටයුතු කරන ලදී.  

ස්වාමි පුර්ෂයින් අහිමි වූ කාන්තාවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ඇය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ ආබාධිත රණවිරුවන්ගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ද සුවිශේෂී මෙහෙවරක නිරත විය. තම ස්වාමී පුර්ෂයා ජාතික කාර්යභාරයන් උදෙසා කැප වී සිටියදී එතුමිය ගෘහනියකගේ වගකීම් මෙන්ම භාර්යාවකගේ යුතුකම් ද මැනවින් ඉටුකරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන් මෙම නව ධුරයේ රාජකාරි භාරගැනීම ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරින්ගේ සහ සෙසුනිලයන්ගේ පවුල්වල සියලුම කාන්තාවන් අතර බෙහෙවින් කණ්ඩායම් හැඟීමක් ඇති කර තිබේ.  

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සේවා වනිතා ඒකකය පසුගිය වසර කිහිපය තුළ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස සම්පූර්ණ කිරීම, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම, මූල්‍යමය පරිත්‍යාගයන් සිදුකිරීම, වෛද්‍ය ආධාර ලබාදීම ආදිය සඳහා හැකි උපරිමයෙන් සහයෝගය ලබාදීමට ද පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන් එතුමියගේ පුණ්‍ය කටයුතු සහ ප්‍රජා සත්කාරක වැඩසටහන් බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක්ව ඇත.  

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ධූරයේ රාජකාරි භාරගත් ජානකී ලියනගේ මහත්මිය සියලුම යුද්ධ හමුදා සාමාජික සාමාජිකාවන්ගේ භාර්යාවන්, ස්වාමි පුර්ෂයන් හා පවුලේ සාමාජිකයින්ගේ සුබසාධන කටයුතු වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමට අපේක්‍ෂාවෙන් සිටියි.