Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st December 2023 17:44:47 Hours

යුද්ධ හමුදා සරඹ සහ පියවර කෝදු තරඟාවලිය පනාගොඩදී සාර්ථකව අවසන්

‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2023’ හි ජයග්‍රාහී කණ්ඩායම් සඳහා සම්මාන ප්‍රධානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සරඹ භූමියේදී පසුගිය බ්‍රහස්පතින්දා (නොවැම්බර් මස 30) දින පවත්වනු ලැබීය.

ප්‍රේක්‍ෂකයන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයේදී යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වූ එම සරඹ කණ්ඩායම් ඉදිරිපත් කරනු ලැබූ සරඹ සහ තූර්ය වාදක අංගයන් මඟින් උත්සවයට අලංකාරවත් බවක් සහ අභිමානයක් එක්විය. තරඟාවලියේ, තරඟ 2023 ඔක්තෝබර් මස 12 සිට 23 දින දක්වා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියන්හිදී පවත්වන ලදී.

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනය සහ පැවැත්ම උසස් මට්ටමින් පවත්වාගෙන යාමේ තරඟ ඉසව්වක් ලෙස යුද්ධ හමුදාව තුළ අන්තර් රෙජිමේන්තු සරඹ, තූර්ය වාදක සහ පියවර කෝදු තරඟාවලිය පවත්වනු ලැබේ.

මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ පිරිස් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. යුද්ධ හමුදා විධායක ජෙනරාල් සහ පිරිස් පාලන අධ්‍යක්‍ෂතුමන්ගේ උපදෙස් මත මෙම තරඟාවලිය සංවිධානය කෙරිණි.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. අනතුරුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙන් පසුව යුද්ධ හමුදා ගීතය ගායනා කළහ. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පිරිනැමූහ.

යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් සහභාගී වූ සරඹ සහ තූර්ය වාදක කණ්ඩායම් විසින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අත්පොලසන් නාද මධ්‍යයේ සිය දස්කම් ප්‍රදර්ශනය කරන ලදී.

ත්‍යාග ප්‍රධානෝත්සවය සමාප්තියේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම අවස්ථාවට රැස්ව සිටි පිරිස අමතා ජයග්‍රාහකයින් සහ සහභාගි වූ සියලුම කණ්ඩායම් වෙත සිය සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන් සමඟින් සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය. යුද්ධ හමුදාවේ ආරාධනයෙන් එම අවස්ථාවට සහභාගී වූ දිවයින පුරා පිහිටි පාසල් 41 ක සිසු සිසුවියන් විශාල පිරිසක් ඉතා උද්යෝගයෙන් යුතුව මෙම තරඟාවලිය නැරඹූහ.

උත්සව අවස්ථාව සඳහා කාර්යයේ නියුතු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන් සහ තවත් ආරාධිතයින් රැසක් සහභාගී වූහ.

තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ කණ්ඩායම් සහ තරඟකරුවන් පහතින් දැක්වේ:

දක්‍ෂතම සරඹ කණ්ඩායම - පිරිමි

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව

තෙවන ස්ථානය - ගැමුණු හේවා රෙජිමේන්තුව

දක්‍ෂතම සරඹ කණ්ඩායම - කාන්තා

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය

දක්‍ෂතම කණ්ඩායම් අණදෙන නිලධාරි

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් ආර්.වී කුලරත්න

දක්‍ෂතම කණ්ඩායම් අණදෙන නිලධාරිනී

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිනන් ඩී.ඒ.ඩී.එන් දීරසිංහ

දක්‍ෂතම පියවර කෝදු කණ්ඩායම

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාව

දෙවන ස්ථානය - ගැමුණු හේවා බලකාය

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

දක්‍ෂතම සරඹ උපදේශක

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ බළලත් නිලධාරී II කේ. ප්‍රේමජන්තු