Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2024 16:19:44 Hours

යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන්, යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක

බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලය මඟින් පවත්වනු ලබන ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලා අංක - 10 හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් පිරිසක් ඉකුත් බදාදා (මාර්තු මස 13) දින ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ ස්ථාපිත යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යයන චාරිකාවක නිරතවූහ.

යුද්ධ හමුදාවේ විවිධ ශාඛා හා අධ්‍යක්‍ෂ මණ්ඩල මඟින් සිදුකරනු ලබන රාජකාරි කටයුතු පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීමේ අරමුණින් එම ශිෂ්‍ය නිලධාරින් විසින් මෙම සංචාරය සිදුකරන ලදී.

පාඨමාලාව හදාරනු ලබන යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරන ශිෂ්‍ය නිලධාරීන් 29 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම අධ්‍යයන චාරිකාව සඳහා එක් වූ අතර, ඒ සඳහා යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ප්‍රධාන උපදේශක කර්නල් එම්.ඩී.එස්.එන්. කරුණාරත්න පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ශිෂ්‍ය නිලධාරීන් ඇතුළු පිරිස, අධ්‍යක්‍ෂ ජෙනරාල් පාබල හමුදා මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනීසිටියහ.

අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණු මේජර් ජෙනරල් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යූඑස්පී විසින් ශිෂ්‍ය නිලධාරීන් වෙත ‘Role of a Contemporary Battalion Commander’ තේමාව යටතේ දේශනයක් පැවැත්වූ අතර, එහිදී ඔවුන්ට පැනනැගුණු ගැටළු නිරාකරණය කරගැනීමට ද අවස්ථාවක් හිමිවිය.

ශිෂ්‍ය නිලධාරීන් කණ්ඩායම ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ මණ්ඩලය හා එහි මෙහෙයුම් මැදිරිය සහ ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත ගොස් එහි කාර්යභාරය පිළිබඳ දැනුවත් විය. මෙම අධ්‍යයන සංචාරය සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.