Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th August 2023 05:52:13 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සාමාජිකයන් වෙනුවෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන සුබසාධන ව්‍යාපෘතීන් තවදුරටත් පුළුල් කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සාමාජිකයන් අතරින් තෝරාගත් පිරිසක් වෙත වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 4) දින ක්‍රියාත්මක කෙරිණි. එම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

මෙම වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන රණවිරු යෝගට් නිෂ්පාදන ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය එක්ව එම සේවා වනිතා ශාඛාව වෙත අධිශීතකරණ 3 ක් පරිත්‍යාග කරනු ලැබීය.

වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමෙන් අනතුරුව රණක්‍ෂිතයට පත් ගජබා රෙජිමේන්තුවේ රණවිරුවෙකුගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම සඳහා රුපියල් ලක්‍ෂ 6ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් සමඟ එක්ව අල, ළූණු, පොල් කිරි පැකට් ආදියෙන් සමන්විත වියළි ආහාර සලාක පාර්සල් 100 යුද්ධ හමුදා සාමාජිකයන් වෙත බෙදාදෙනු ලැබීය.

උත්සව අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අයි.එච්.එම්.ආර්.කේ. හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් එන්. මහවිතාන කේඑස්වී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.