Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd August 2021 18:01:55 Hours

යුද්ධ හමුදා මුලස්ථාන සංකීර්ණයේදී අතිගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ උණුසුම් අයුරින් පිළිගනි

ශ්‍රී ජයවර්ධනපුර නව ආරක්‍ෂක හමුදා මුලස්ථානය අභිනවයෙන් ඉදිකිරීම සඳහා මුලිකත්වය ගෙන කටයුතු කල සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් අද (03) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණියේය. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධනි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර මධ්‍යයේ මහත් හරසරින් යුතුව පිළිගත්තේය.

උදෑසන 10.00 ට පමණ රථ පෙරහැරකින් ආරක්‍ෂක හමුදා මුලස්ථානය වෙත සපැමිණි සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීය.

පසුව, යුද්ධ හමුදා මුලස්ථානය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව,  ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඉමහත් ගෞරවයෙන් යුතුව පිළිගත්තේය.

අනතුරුව ජනාධිපති වර්ණ ධජ සහ රෙජිමේන්තු වර්ණ ධජයන්ගෙන් සමන්විත ගජබා රෙජිමේන්තුවේ නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසුනිලයින් 96 දෙනෙකුගෙන් යුක්ත වර්ණවත් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ආරාධනා කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ආරාධනය පිළිගත් අතිගරු ජනාධිපතිතුමන්, හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගෙන සම්මාන පෙළපාලිය යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් නිරීක්‍ෂණය කළහ.

පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් යුද්ධ හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් අතිගරු ජනාධිපතිතුමන් වෙත හඳුන්වා දෙනු ලැබු අතර මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබු සමුහ ඡායාරූපයකට ද ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සමගින් පෙනීසිටියහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගජබා රෙජිමේන්තුවේ හිටපු කීර්තිමත්නිලධාරියෙකු වන අතිගරු ජනාධිපතිතුමන් වසර ගණනක යුද්ධ හමුදා දිවිය තුලදී ලද සිය මතකයන් සිහිපත් කරමින් එම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සුහදව අදහස් හුවමාරු කරගත්තේය. මෙම සංචාරය අවසානයේ අතිගරු ජනාධිපතිතුමන් සිය මතකයන් සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.