Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th July 2021 16:43:15 Hours

යුද්ධ හමුදා ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථාන වැඩපිළිවෙළ සාර්ථකයි - මහජනතාවගෙන් පැසසුම්

රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන එන්නත්කරණ වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාතේ වයස අවුරුදු 30 ට වැඩි පුරවැසියන්ට එන්නත ලබා දීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරි සඳහා යොදවා සිටින යුද්ධ හමුදා භටපිරිස් දිරිගැන්වීමේ අරමුණින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (5) දින බත්තරමුල්ල දියත උයනේදී යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේය. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය (ASVU) මෙම ප්‍රජා එන්නත්කරණ වැඩසටහනට පහසුකම් සපයයි.

එම ස්ථානයේ රැඳී සිටි කාලය තුළදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එන්නත්කරණ ක්‍රියාවලිවය නිරීක්ෂණය කළ අතර එහිදී මහජනතාව පාලනය කරගමින් නිසි කළමනාකරණයකින් යුතුව යුද්ධ හමුදාව විසින් සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය ඇගයීමට ලක් කලේය. එසේම මහජනතාවට සුළු හෝ ප්‍රමාදයක් සිදු නොවී එන්නත් ලබා ගැනීමට හැකි අයුරින් මෙම ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කරන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් ඒ අවස්ථාවේ රාජකාරියේ යොදවා සිටින හමුදා භටපිරිස් සහ එන්නත් ලබා ගැනීමට පැමිණි මහජනතාව සමඟ අදහස් හුවමාරු කර ගත්තේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දැනුම්දීමකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්ෂ මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම් සමඟින් යුද්ධ හමුදා භට පිරිස් විසින් දිනකට අඩු කාලයකදී දිවයින පුරා ජංගම ප්‍රජා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන එන්නත්කරණය වෙනුවෙන් සූදානම් කළ අතර, අද (5) දින උදෑසන සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව සිවිල් වැසියන්ට ලබාදීම ආරම්භ කරන ලදී.

ඒ අනුව, 2021 ජුලි මස 05 දින සිට පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා බස්නාහිර පළාත තුළ අවුරුදු 30 ට වැඩි සියලුදෙනා හට යුද්ධ හමුදා රෝහල - නාරාහෙන්පිට, දියත උයන - බත්තරමුල්ල, ශ්‍රී බෝධිරාජාරාමය - පනාගොඩ, 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය - වේරහැර යන ස්ථානවලදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන ලදී. එන්නත ලබාගැනීමට ප්‍රථම බස්නාහිර පළාත තුළ ස්ථිර පදිංචිය සනාථ කිරීම සඳහා තම ජාතික හැඳුනුම්පත සමඟ විදුලි බිලක හෝ දුරකථන බිලක ඡායා පිටපතක් හෝ ඡන්ද නාම ලේඛනයේ ඡායා පිටපතක් හෝ තම ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි විසින් නිකුත් කළ පදිංචිය සනාථ කිරීමේ සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම, අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණය යුද්ධ හමුදාව මඟින් මෙහෙයවන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානවල අද (05) දින උදෑසන 08.30 සිට සවස 04.30 දක්වා පැවැත්වූ අතර ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය (ගාල්ල දිස්ත්‍රික්කය), මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලය (මාතර දිස්ත්‍රික්කය), මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය - දියතලාව (බදුල්ල දිස්ත්‍රික්කය), අනුරාධපුර යුද්ධ හමුදා රෝහල (අනුරාධපුර දිස්ත්‍රික්කය), මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය (පොලොන්නරුව දිස්ත්‍රික්කය), කිලිනොච්චි යුද්ධ හමුදා මූලික රෝහල (කිලිනොච්චි දිස්ත්‍රික්කය), මුලතිව් දෙමළ විද්‍යාලය - පුදුකුඩුඉරිප්පු (මුලතිව් දිස්ත්‍රික්කය), මන්නාරම ආයෝජන මණ්ඩල ගොඩනැගිල්ල (මන්නාරම දිස්ත්‍රික්කය), යන මධ්‍යස්ථාන තුලදී මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. දිවයින පුරා අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා ඉහත මධ්‍යස්ථානවලදී තම පදිංචිය සනාථ කිරීමෙන් අනතුරුව එන්නත ලබාගැනීමට හැකියාව පවතී.

එන්නත්කරණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා බත්තරමුල්ල දියත උයනේ පැවැති එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නිශාන්ත පතිරණ, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත ලියනවඩුගේ, යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගත්තේය.