Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd March 2024 10:41:55 Hours

යාපනය ප්‍රදේශයේ ගොවීන් වෙත ඉඩම් අක්කර 235 ක් නැවත පවරාදෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පලාලි අධි ආරක්‍ෂිත කලාපයේ පිහිටි තවත් ඉඩම් අක්කර 235ක් එහි හිමිකරුවන් වෙත පවරාදීමේ උත්සවය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (මාර්තු මස 22) දින පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි ගරු සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

උත්සව අවස්ථාවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භය සනිටුහන් කරමින් එදින පවරා දුන් ඉඩමේ කෙසෙල් පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය ප්‍රදේශයේ සංචාරය සංකේතවත් කරමින් එතුමන් සියඹලා පැළයක් ද රෝපණය කළේය.

උත්සව අවස්ථාව අතරතුරදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පවරා දුන් ඉඩමේ නිල ලේඛනය අතිගරු ජනාධිපතිතුමන් වෙත සහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම්.පිරතීපන් මහතා වෙත භාරදෙන ලදී.

අනතුරුව, පවරා දුන් ඉඩම් කොටස්හි ගොවිතැන් කටයුතු ආරම්භ කිරීම සඳහා පවුල් 327 කින් පවුල් 20 ක් සඳහා සංකේතාත්මකව නිල ලේඛන අතිගරු ජනාධිපතිතුමන් විසින් ලබාදෙන ලදී.

උත්සව අවස්ථාවෙන් පසුව අතිගරු ජනාධිපතිතුමන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය. කඳවුරු පරිශ්‍රයෙන් පිටව යාමට පෙර එතුමන් අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සමරු සටහනක්ද තැබීය.