Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th October 2022 20:00:44 Hours

යාපනය දිස්ත්‍රික් අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ ජය කලෙයිමති ක්‍රීඩා සමාජයට

යාපනය අර්ධද්වීපයේ කරවෙඩ්ඩි සහ පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි සිවිල් ක්‍රීඩා සමාජ පාපන්දු කන්ඩායම් අටක සහභාගීත්වයෙන් යුතුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් ලබාදුන් උපදෙස් මත 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්නගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ 551 බලසේනාව විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පාපන්දු තරඟාවලිය ඔක්තෝබර් මස 12 - 22 යන දිනයන්හිදී පවත්වන ලදී.

‘මේජර් ජෙනරල් රවී රත්නසිංහම් අභියෝගතා කුසලානය -2022’ වෙනුවෙන් සංවිධානය කරන ලද මෙම පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් කලෙයිමති ක්‍රීඩා සමාජයේ පාපන්දු ක්‍රීඩයින් විසින් රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් දිනා ගන්නා ලදී.

නෙල්ලිඅඩි කොලින්ස් ක්‍රීඩා පිටියේදී පසුගිය අඟහරුවාදා (25) දින පැවති අවසන් මහා තරඟාවලිය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහභාගී වූ අතර, පේදුරුතුඩුව නගරාධිපති ජෝශප් ඉරුතයරාජා මහතා විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගි විය. මෙම ලීග් පාපන්දු තරඟාවලියට කණ්ඩායම් අටක් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරඟ වදිනු ලැබූහ.

අවසන් මහා තරගයේදී සිවනන්තන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයින් ‘විශ් නඩරාජා කුසලානය’ සමගින් රුපියල් 50,000 මුදල් ත්‍යාගයක්ද හිමිකර ගනිමින් අනුශූරතාව හිමිකර ගත්හ. එහිදී ශූරතාවය සහ අනුශූරතාවය හිමිකරගත් කණ්ඩායම් සඳහා සහතික පත් සහ පදක්කම් ප්‍රදානය කරන ලද අතර, සහභාගී වූ අනෙකුත් පාපන්දු කණ්ඩායම් සඳහා රුපියල් 10,000 මුදල් ත්‍යාගයන් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

මෙම පාපන්දු තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) සහ විශ් නඩරාජා මහතා විසින් දක්වන ලද අතර, පෙප්සි සමාගම විසින් සම අනුග්‍රහකත්වය දක්වන ලදී. 551 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහ මෙම තරඟාවලියේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලද අතර, 16 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් රම්‍ය කුමාරගේ සහායද ඒ සඳහා හිමිවිය.

අවසන් මහා තරඟය නැරඹීමට සහ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, 55 වන සහ 51 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 551, 552 සහ 553 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සිවිල් ආරාධිතයින් පිරිසක් එක් වූහ.

මෙම අවසන් මහා පාපන්දු තරඟය නැරඹීම සඳහා විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් සහභාගී වූහ.