Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th February 2024 15:26:35 Hours

මාතලේ විජය විද්‍යාලයේ පැවති සුභසාධන වැඩසටහන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන්

මාතලේ විජය විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබාදීමේ අරමුණින් පෙබරවාරි මස 10 දින පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කෙරෙණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් විජය විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් පොල්තෙල් පහන දල්වා මව්බිම වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීය.

මෙහිදී යුද්ධ හමුදාධිපති, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් සඳහා පාසල් උපකරණ කට්ටල 100 ක් බෙදාදුන් අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ පාසල් ආදිශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වය මත එම පාසලේ තවත් සිසු සිසුවියන් 12 දෙනෙකු වෙත මුල්‍ය ශිෂ්‍යත්වයන් ප්‍රදානය කරනු ලැබීය. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පාසලේ ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් පරිත්‍යාග කළේය.

පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ, එම පාසලේ විදුහල්පතිතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය අතර කෘතඥතාව පළකරමින් විශේෂ සමරු තිළිණයක් හුවමාරු සිදුකෙරිණි. පසුව, මෙම අවස්ථාව සඳහා සහභාගී වූවන් සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සමූහ ඡායාරූප කිහිපයකට පෙනීසිටියේය.

මෙහි දී, පාසල් ආදි ශිෂ්‍ය සංගමය සහ දානපතියන් පිරිසකගේ මුල්‍ය අනුග්‍රාහකත්වය මත 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නවීකරණය කරනු ලැබූ පන්ති කාමර හතරක් ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරිණි. උත්සව කටයුතු සමාප්තියේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සිසු සිසුවියන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.