Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th December 2023 11:04:50 Hours

භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා- අංක 9 සාර්ථකව හදාරනු ලැබූ නිලධාරීන් 35 දෙනෙකු වෙත උපාධි පිරිනමයි

ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලේ වසරක කාලයක් මුළුල්ලේ පවත්වනු ලැබූ භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලා - අංක 9 සාර්ථකව හදාරනු ලැබූ යුද්ධ හමුදාවේ නිලධාරීන් තිස්දෙදෙනෙකු, නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සහ නේපාල හමුදාවේ එක් නිලධාරියෙකු ඇතුළුව මධ්‍යම ශ්‍රේණියේ නිලධාරීන් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වෙත උපාධි පිරිනැමීමේ ප්‍රදානෝත්සවය පසුගිය බදාදා (දෙසැම්බර් මස 13) දින කොළඹ ආරක්‍ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබිණි.

උපාධි ප්‍රධානෝත්සවය සඳහා ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලෙහි සේනාවිධායක කර්නල් වයි.කේ.එස් රංගික පීඑස්සී පීටීඑස්සී විසින් කළ ආරාධනාවක් මත ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී වූයේය.

භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටකාර්ය සම්පාදක සහ පරිපාලන ක්‍ෂේත්‍රවල ඉහළම වෘත්තීය දැනුම ලබාදෙන අතර, එමගින් යුද්ධ හමුදාවේ නිලධාරීන්ගේ වෘත්තිය සහ සාමාන්‍ය ක්‍රියා පටිපාටිවලට සම්බන්ධ සැපයුම් සහ පරිපාලන ගැටළු නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීම සිදුකරනු ලබයි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලෙහි සේනාවිධායකතුමන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව එතුමන්ගේ ප්‍රධානත්වයෙන් පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද උපාධිධාරී නිලධාරීන් 35 දෙනා වෙත සංකේතාත්මකව සහතිකපත්‍ර පිරිනැමීම සිදුකරන ලදී.

ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසල වෙතින් පිරිනමන සුවිශේෂි සම්මාන ද්විත්වය පිරිනැමීමද මෙහිදී සිදුවූ අතර, ‘හොඳම භටකාර්ය සම්පාදක සැලසුම්කරු’ සම්මානය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ආර්.සී.එන්.බී රන්කොත්ගෙදර සහ පාඨමාලාවෙහි හොඳම ශිෂ්‍ය නිලධාරී සඳහා සම්මානය ඉංජිනේරු සේවා බලකායේ මේජර් ජේ.සී රුවන්පතිරණ වෙත පිරිනමන ලදී.

උපාධි ප්‍රධානය කිරීමෙන් අනතුරුව, රැස්ව සිටි පිරිස අමතමින් යුද්ධ හමුදාධිපතිතුමන්, ඕනෑම හමුදාවක ඉදිරි ප්‍රගතිය සඳහා භටකාර්ය සම්පාදක කටයුතු පිළිබඳ දැනුම ලබාගැනීමේ වෘත්තීය පාඨමාලා හැදෑරීමේ වැදගත්කම සහ එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කලයුතු ආකාරය පිළිබඳ විස්තර කල අතර, මෙම පාඨමාලාව හැදෑරීම සඳහා සහභාගී වූ විදේශීය නිලධාරී වෙතද සිය සුභාශිංෂණයන් ද එක්කලේය.

මෙහිදී, ත්‍රිකුණාමලය භටකාර්ය සම්පාදක පුහුණු පාසලෙහි නිල සඟරාව වශයෙන් ගෝල්ඩන් ලොග් 2023 සඟරාව එළිදක්වන ලද අතර, එහි පිටපත් කීපයක් යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ආරාධිතයින් වෙත පිරිනමනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් වයි.කේ.එස් රංගික පීඑස්සී පීටීඑස්සී සහ යුද්ධ හමුදාධිපතිතුමන් අතර, විශේෂ සමරු තිළිණ ප්‍රදානයක්ද සිදුකරන ලදී.

උපාධි ප්‍රදානෝත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යු.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පි ආර්සීඩීඑස් පීඑස්සී, භඨකාර්ය සම්පාදක අණසක මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, ජ්‍යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, කීර්තිමත් විද්වතුන් සහ ආරාධිතයන් පිරිසක් සහභාගී වූහ.

පාඨමාලාව සඳහා මෙරට යුද්ධ, ගුවන් හා නාවික හමුදාවන්හි සහ විදෙස් රටවල හමුදා නිලධාරීන් ජ්‍යේෂ්ඨ භටකාර්ය සම්පාදක තනතුරු සඳහා පත්වීමට ප්‍රථම එම නිලධාරීන්ගේ භඨකාර්ය සම්පාදක දැනුම වර්ධනය කිරීම මෙන්ම කුසලතාවයන් සහ ආකල්ප වර්ධනය කිරීමත් මෙම පාඨමාලාව මඟින් සිදු කෙරේ.

භටකාර්ය සම්පාදක මාණ්ඩලික පාඨමාලාව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධව පවත්වනු ලබන අතර, එමගින් භටකාර්ය සම්පාදක කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනය ශාස්ත්‍රපති උපාධිය (MBA in LM) ප්‍රදානය කරනු ලබයි. තවද, එම සුදුසුකම් ලත් ශිෂ්‍ය නිලධාරීන් හට එම ආරක්‍ෂක විශ්ව විද්‍යාලයෙහි මාස තුනක කාලයක් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂා පාඨමාලාවටද සහභාගී වීමට අවස්ථාව හිමි වේ.